සමඟි ජන බලවේගයේ සභාපති ධූරයෙන් සහ කැලණිය ආසනයේ සංවිධායක ධුරයෙන් තමන් ඉවත් කිරීමට කිසිවෙක්ට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි.

තමන්ව පක්ෂයෙන් ඉවත් කිරිමට එරෙහිව අධිකරණය පැනවූ වාරණ නියෝගය මේ මස මස 27 වැනිදා දක්වා බලපැවැත්වෙන බවයි ඔහු සඳහන් කරන්නේ.

එම වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කරගැනීමට හැකි වේ යැයි තමන් සිතන බවද ඔහු ප්‍රකාශ කර ඇත.

එම නිසා කිසිවෙකුට ආස වුණ පළියට හෝ හිතුණ පළියට තමන්ව අදාළ තනතුරුවලින් ඉවත් කිරීමට නොහැකි බවත් එවැනි තීරණයක් කිසිවෙකු හෝ ප්‍රකාශ කළහොත් අනිවාර්යෙන්ම අධිකරණයට අපහාස කිරීමක් වන බවත් ඔහු වැඩිදුටත් පෙන්වා දෙයි.

ඔහු පැවසුවේ,
“අලුත් පක්‍ෂයක් නිර්මාණය කරන විට දැන් ජනතාව ඉල්ලන වෙනස කරා අපිට යන්න පුළුවන් වෙයි කියලා. දූෂණයට විරුද්ධ, දූෂිතයො ගාවගන්නේ නැති අලුත් දේශපාලන සංස්කෘතියක්. පිරිසිදු‍ මිනිස්සුත් එක්ක යන දේශපාලන ගමනක් යන්න හිතාගෙන තමයි ඒකට අපි එකතු වුණේ.” බවයි.

“ඒ පක්‍ෂයේ තනතුරු මම භාරත්තේ එවැනි බලාපොරොත්තුවක් තියාගෙනයි. නමුත් දැන් එතන අලුත් දේශපාලන ගමනකුත් නෑ, දූෂිතයන්ගෙන් තොර ගමනකුත් නෑ. වියත් මගෙයි, පොහොට්ටුවේ හිටපු දූෂිත මිනිස්සුත් දැන් එන එන වෙලාවට පක්ෂයට භාරගන්නවා. ඒ කළකිරීම මත ඉදගෙන මම අදහස් ප්‍රකාශ කරනවා.”