එළඹෙන 22 වනදා සිට සති දෙකක කාලයක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා.

ගුරු විදුහල්පතිවරුන්ට හා දෙමාපියන්ට ඇති වී තිබෙන ගැටලු විසඳීම පිළිබදව රජය කටයුතු නොකිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසා සිටිනවා .

ඒ අනුව පාසල් වේලාවෙන් පසු ද, සති අන්තයේ දිනවල හා නිවාඩු දිනවලද විෂය පරිබාහිර කටයුතු සිදු නොකරන බවත්, වට්ස් ඇප් සමූහ හරහා බලධාරීන් සමග රාජකාරි කටයුතු සිදුකිරීමේ කටයුතු වලින්ද ඉවත්වන බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසා සිටියා

ඉන් පසුව ඉදිරි ක්‍රියා මාර්ග සිදුකිරීමට සැලසුම් කර තිබෙන බවත්, ගුරුවරුන්ගේ වැටුප් විෂමතා විසඳීම යටතේ තුනෙන් දෙකක කොටස ලබා දෙන ලෙසත් පාසල් උපකරණ මිල අඩු කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් පාසල් නඩත්තුව සඳහා නිසි ලෙස මුදල් වෙන් කර පාසල් නඩත්තු කටයුතු සඳහා දෙමාපියන්ගෙන් මුදල් එකතු කිරිම සිදුනොකරන ලෙසත් ඉල්ලා මෙම ක්‍රියා මාර්ගය සිදුකරන බවද ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය වැඩිදුරටත් සදහන් කළා