ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පළමු කාන්තා ආසියානු කුසලානය දිනාගැනීම වෙනුවෙන් චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඇ. ඩොලර් 100,000ක ත්‍යාගයක් පිරිනැමීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ පස්වරුවේ පැවැති අවසන් මහා තරගයේදී කඩුලු 8කින්, හත්වරක් ශූරියන් වූ ඉන්දියාව පරදවමින් සිය මංගල කාන්තා ආසියානු කුසලාන කිරුළ දිනාගැනීමට සමත් විය.

ඉන්දියාව ලබාදුන් ලකුණු 165ක ඉලක්කය හඹාගිය නායිකා චමරි අතපත්තු හයේපහර 2ක් සහ හතරේ පහර 9ක් සමඟින් ලකුණු 61ක් රැස්කරමින් කණ්ඩායම ඓතිහාසික ජයග්‍රහණය කරා රැගෙන යාමට අඩිතාලම් දැමුවාය.

මැලේසියාවට එරෙහිව කාන්තා විස්සයි20 ආසියානු කුසලානයේ කණ්ඩායම් අදියරේ තරගයේදී පළමු ශතකය වාර්තා කළ චමරි අතපත්තු 2024 කාන්තා T20 ආසියානු කුසලානයේ තරගාවලියේ ක්‍රීඩිකාව ලෙස නම්කරන ලදී.

මීට අමතරව, ඉන්දියාවට එරෙහිව පන්දු 51 කදී නොදැවී ලකුණු 69 ක් රැස්කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය ශ්‍රී ලංකාවේ හර්ෂිතා සමරවික්‍රම අවසන් මහා තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබීය.

තරගයෙන් අනතුරුව පැවැති ත්‍යාග ප්‍රදානෝත්සවයේදී ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු අවසන් මහා තරගයට සහභාගි වූ සියලුම ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට සිය කෘතඥතාව පළකළේ, කාන්තා තරගයකට මෙතරම් විශාල ප්‍රේක්ෂක පිරිසක් සහභාගී වූ පළමු අවස්ථාව මෙය බව පවසමිනි.

එහිදී නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු ලෙස චමරි අතපත්තු සහතික වූයේ මීළඟ පන්දුවාර 50 කාන්තා ලෝක කුසලානය දක්වා අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ රැඳීසිටින බවයි.