බාලදක්ෂ ව්‍යාපාරය, ශිෂ්‍ය භට බලකාය සහ යොවුන් සේනාංකය වැනි තරුණ සංවිධාන සෑම අතින්ම ශක්තිමත් කර රටේ ඉදිරි ගමන වෙනුවෙන් තාරුණ්‍ය පුළුල් ලෙස දායක කර ගැනීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන රජය දැනටමත් වෙන් කර තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඉදිරියේ දී ද ඊට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන බව කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා බාල දක්ෂිකා සංගමයේ සාමාජිකාවන්ට ජනාධිපති පදක්කම් පිරිනැමීම වෙනුවෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (31) පැවති උත්සවයට එක් වෙමිනි.

PMD News
PMD News

75,000ක් වූ බාලදක්ෂ ව්‍යාපාරයේ සාමාජිකත්වය 150,000 දක්වා ඉහළ නැංවීමට අවශ්‍ය සහාය ලබා දෙන බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසු අතර බාලදක්ෂ ව්‍යාපාරය, ශිෂ්‍ය භට බලකාය සහ යොවුන් සේනාංක වැනි තරුණ සංවිධාන හරහා මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළටද පුළුල් දායකත්වයක් ලබාගත හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

බාල දක්ෂිකාවන් 2000ක් සඳහා ජනාධිපති පදක්කම් පිරිනැමීම මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. එම අවස්ථාවේදි ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ සභාපතිනි ශාන්ති විල්සන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් විශේෂ සිහිවටන තිළිණයක් ද පිළිගැන්වූවාය.

PMD News

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පැවසුවේ,

” බාලදක්ෂ ව්‍යාපාරය පිළිබඳ මට හොඳ අවබෝධයක් තිබෙනවා. මගේ පවුලේ කිහිප දෙනෙකුම මෙම සංවිධනයේ ක්‍රියාකාරිව කටයුතු කළා. බාලදක්ෂ ව්‍යාපරය අප තවදුරටත් දියුණු කළ යුතුයි. බාලදක්ෂිකා සංගමය සඳහා අවශ්‍ය ගොඩනැඟිල්ලක් ලබාදෙන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කෙරුණා. එම ඉල්ලීම ඉටු කිරීමට පියවර ගන්නා බව සඳහන් කළ යුතුයි. බාලදක්ෂ ව්‍යාපාරය, ශිෂ්‍ය භට බලකාය මෙන්ම යොවුන් සේනානාංක සඳහා අවශ්‍ය මුදල් රජය වෙන් කර තිබෙනවා. අනෙක් සංවිධාන ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් වෙනම මුදල් ප්‍රමාණයක් ආණ්ඩුවෙන් ලබා දීමට බලාපොරොත්තු වෙනවා.

මෙලෙස මුදල් වෙන් කිරිමට හැකියාව ලැබී තිබෙන්නේ ආණ්ඩුවට දැන් මුදල් ප්‍රමාණයක් තිබෙන නිසයි.මම මේ රට භාර ගනිද්දි ආණ්ඩුවට මුදල් තිබුණේ නැහැ. අපි දැන් අසීරු කාලය පසු කර තිබෙනවා. පාඩු ලබන රාජ්‍ය සංස්ථාවලට මුදල් යොදවන එක අපි දැන් නතර කරලා තිබෙනවා. ඒ වගේම විදේශ ණය ලබා ගැනිමද නතර කර තිබෙනවා. අපිට ගෙවීමට තිබෙන ණය ප්‍රමාණයත් අඩු වී තිබෙනවා. ඒ නිසා දැන් ආණ්ඩුවට යම් මුදල් ප්‍රමාණයක් තිබෙනවා. එම මුදල් තරුණ පරපුර වෙනුවෙන් යෙදවීමට මම බලාපොරොත්තු වෙනවා.

මේ වන විට අධ්‍යාපනය වෙනුවෙන් පුළුල් වැඩපිළිවෙළක් සකස් කරමින් තිබෙනවා. ඉදිරි අවුරුදු කිහිපයේ දී ඒ වෙනුවෙන් විශාල මුදලක් වැය කිරීමට අපට සිදු වෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා ද අවශ්‍ය මුදල් අප වෙන් කිරීමට සැලසුම්සහගතව අප කටයුතු කරමින් සිටිනවා.

අධ්‍යාපන අංශය පොත පතට සීමා කරන්න බැහැ. දරුවන්ට ඉදිරියට යාමට නව අවස්ථා සොයා දිය යුතුයි. ඒ සඳහා අප ඉදිරියේ දී මුදල් වැය කරනවා. එහිදී බාලදක්ෂ ව්‍යාපාරය සෑම අංශයකින්ම දියුණු කිරීමට අප බලාපොරොත්තු වෙනවා. 75,000ක් වන මෙහි සමාජිකත්වය ඉදිරියේදී 150,000ක් බවට පත් කර ගත යුතුයි. ඊට අවශ්‍ය සහාය ලබාදිමට රජය බලාපොරොත්තු වෙනවා..” බවයි.

PMD News