මේ වන විට අර්බුදයකට මැදිව ඇති බංග්ලාදේශයේ වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා අන්තර්වාර රජයක් පත්කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අගමැතිනි ශෙයික් හසීනා ධුරයෙන් ඉවත්වී ඉන්දියාවට පළායාම හේතුවෙන් බංග්ලාදේශයේ අන්තර්වාර පාලනයක් ස්ථාපිත කරන බව එරට හමුදා ප්‍රධානී ජෙනරාල්වරයා සදහන් කර ඇත.

මේ අතර, හමුදාවේ සහය ලබන හෝ හමුදාව විසින් මෙහෙයවන කිසිදු රජයක් නොපිළිගන්නා බව බංග්ලාදේශයේ විරෝධතාවල නිරත ශිෂ්‍ය කණ්ඩායම් පවසයි.

අද සවස් කාලය වන විට පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස එම ශිෂ්‍ය නායකයින් බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහාබුදීන්ගෙන් ඉල්ලා සිටින අතර, සිය ඉල්ලීම් ඉටු නොකළහොත් දැඩි පියවර ගන්නා බවටද ඔවුන් අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

අලුතින් පත් කෙරෙන අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක ලෙස බංග්ලාදේශ හිටපු අගමැතිනි ශෙයික් හසීනාගේ දේශපාලන සතුරෙකු ලෙස සැලකෙන 84 වියැති මොහොමඩ් යුනූස් මහතා නම් කිරීම ශිෂ්‍ය විරෝධතාකරුවන්ගේ ඉල්ලීමක් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහු නොබෙල් සාම ත්‍යාගය ලැබූවෙකු බවද වාර්තා වේ.

මේ අතර, මේ වන විට අසනීප තත්වයක් සඳහා පැරීසියේ ප්‍රතිකාර ලබන යුනූස් විරෝධතාකරුවන්ගේ ඉල්ලීමට එකඟතාවය පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහුගේ ප්‍රකාශකයෙක් උපුටා දක්වමින් එම වාර්තා සඳහන් කළේ වෛද්‍ය ප්‍රතිකාරවලින් අනතුරුව ඔහු ඉක්මනින් බංග්ලාදේශයට පැමිණීමට නියමිත බවයි.