දෙමටගොඩ දුම්රිය අංගනයේ අතුරුදන් වූ සේවකයාගේ සිරුර අනාරක්ෂිත ළිඳක තිබී සොයාගෙන තිබෙනවා.

ඊයේ (06) අලු‍යම 1.30 පමණ සිට අතුරුදන්ව තිබුණේ දෙමටගොඩ දුම්රිය අංගනයේ සේවය කළ නායකගේ සුජීව කුමාර නමැති කාර්මික ශිල්පියෙක්

මාතර පදිංචි ඔහු 47 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු සමග සේවයේ නියුතු සෙසු පිරිස කළ සෝදිසි කිරීමේදී ඔහුගේ බවට සැක කෙරෙන මුදල් පසුම්බියක්, ජංගම දුරකථනයක් සහ පාවහන් යුගලක් දෙමටගොඩ දුම්රිය ධාවනාගාරයේ ළිඳක් ආසන්නයේ තිබී සොයා ගැනුණා.

ඒ අනුව දෙමටගොඩ පොලිසිය දැනුම්වත් කිරීමෙන් පසු පොලිස් නාවික කොට්ඨාසයේ කිමිදුම්කරුවන් ඊයේ රාත්‍රියේ ඔහු සොයා එම ළිදෙහි පරීක්ෂා කිරීම් සිදුකළත් ඔහුගේ සිරුර සොයා ගැනීමට හැකිවූයේ නැහැ.

එවන් පසුබිමක, එම පුද්ගලයා සෙවීමේ කටයුතු සඳහා දුම්රිය බලධාරීන් සහ පොලිසිය ප්‍රමාණවත් පරිදි මැදිහත් නොවන බවට චෝදනා කරමින් දෙමටගොඩ දුම්රිය ධාවනාගාරයේ සේවකයින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සේවයෙන් ඉවත්වී වර්ජනයක් ආරම්භ කළා.

උද්ගත වූ තත්ත්වය මත දුම්රිය මගීන් දැඩි අසීරුතාවයකට පත්වූ අතර නිරන්තරයෙන් සිදුකරන දුම්රිය සේවක වර්ජන සම්බන්ධයෙන් මගීන් පළකළේ දැඩි විරෝධයක්.

මෙම වර්ජනයෙන් විදෙස් සංචාරකයින් ද දැඩි අපහසුතාවයට පත්ව සිටියා.

වර්ජනය ක්‍රියාත්මක පසුබිමක, අතුරුදන් වූ පුද්ගලයාගේ මුදල් පසුම්බිය ඇතුළු ද්‍රව්‍ය හමුවූ ළිඳ සහ ඒ ආසන්නයේම පිහිටි තවත් ළිඳක් පරීක්ෂා කිරීමට නාවික හමුදා කිමිදුම්කරුවන් අද පෙරවරුවේ කටයුතු කළා.

ඒ අනුව සිදුකළ සෝදිසි මෙහෙයුමේදීයි මෙම මෘත දේහය හමුව තිබෙනවා.