ජාතික ජන බලවේගයේ විධායක සභික ලාල්කාන්ත සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධව සමගි ජන බලවේගයේ නියෝජ්‍ය නීති ලේකම් නීතිඥ රජිත ලක්මාල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (අගෝ. 8) පැමිණිල්ලක් ගොනු කර ඇති බව වාර්තා වේ.

පාර්ලිමේන්තුව අත්පත් කර ගෙන රජය පෙරළීම සම්බන්ධ ක්‍රියාවක් ගැන ජා.ජ.බ. විධායක සභික ලාල්කාන්ත සමුළුවකදී සඳහන් කළේ යැයි එම නීතිඥවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත.

පාර්ලිමේන්තුව ඇල්ලීමට පැමිණි බව විධායක සභික ලාල්කාන්ත ඔහු විසින් ම පවසන්නේ යැයි ද දණ්ඩ නීති සංග්‍රහයේ 6 වන පරිච්ඡේදයේ 114 වන වගන්තිය යටතේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ කිරීම වරදක් බව සඳහන් වන බව ද නීතිඥ රජිත ලක්මාල් පවසයි.

රාජ්‍ය විරෝධී වරදට ඇති දඬුවම ලෙස ඇත්තේ, මරණීය දඬුවම බවත් මරණීය දණ්ඩනය තිබෙන වරද කිරීමට කුමන්ත්‍රණය කළ බවට ජාතික ජන බලවේග විධායක සභික ලාල්කාන්තට එරෙහිව පැමිණිල්ල ඉදිරිපත් කළ බවත් නීතිඥවරයා සඳහන් කරයි.

ජනතාව තමන්ගේ අරගලයක් ගැන කටයුතු කරද්දී ඒ වෙනුවෙන් තම කණ්ඩායම එවක පෙනී සිටි නමුත් රජය පෙරළීම හෝ රජය අත්පත් කරගැනීමකින් තොරව සාමකාමී අරගලයක් වෙනුවෙන් පෙනී සිටි බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කර ඇත.