තමා බලයෙන් පහ කිරීමේ කුමන්ත්‍රණය පිටුපස අමෙරිකාව සිටින බවට විරෝධතා හමුවේ ධුරයෙන් ඉල්ලා අස්වූ බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා පවසයි.

බෙංගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශයේ බලය තහවුරු කරගැනීම සඳහා ශාන්ත මාර්ටින් දූපත් ප්‍රදේශයේ ස්වෛරීත්වය අමෙරිකාවට ලබාදුන්නේ නම් තමන්ට තවදුරටත් ධුරයේ රැදී සිටීමට හැකියාව තිබූ බව ඇය පවසා ඇති බව සඳහන්.

බංග්ලාදේශයේ සිසුන් මූලික කරගත් විරෝධතා උත්සන්න වීම හමුවේ ධුරයෙන් ඉවත්ව ඉන්දියාවට පළායාමෙන් පසු පළමුවරට ඇය නිකුත් කළ නිවේදනයේ ඒ බව සඳහන් වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

කෙසේවෙතත් රට තුළ උද්ගතවූ ප්‍රචණ්ඩත්වය තවදුරටත් වර්ධනයවීම වළක්වා ගැනීමට තම ඉල්ලා අස්වීම හේතුවූ බව පෙන්වා දී ඇති ශෙයික් හසීනා රැඩිකල්වාදීන්ට හසු නොවන ලෙස තමා බංග්ලාදේශ ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව ද සඳහන් කර ඇත.