සජබ ආණ්ඩුව බිහි කරන විට මානුෂීයවාදී අයි.එම්.එෆ්. ගිවිසුමකට අලුතෙන් ම ප්‍රවේශ වන බව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මාවනැල්ලේදී ඊයේ (අගෝ. 19) පවසා ඇත.

අලුත් ජනවරමක් සහිත ආණ්ඩුවකට වුවද අයි.එම්.එෆ්. ගිවිසුම වෙනස් කිරීමට නොහැකි යැයි ආණ්ඩුව කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බවත් මූල්‍ය අරමුදල සමඟ ජනහිතකාමී, ජනතාවාදී ගිවිසුමකට යෑමට හැකි බවත් විපක්‍ෂ නායකවරයා පවසා ඇත.

වර්තමාන ආණ්ඩුව ජන වරමක් හා ජනතාවගේ ආශිර්වාදයක් නැතිව බිහිවූ බව අයි.එම්.එෆ්. නියෝජිතයන් සමග හමුවේදී තමා ඇතුළු කබීර් හෂිම්, ඉරාන් වික්‍රමරත්න, හර්ෂ ද සිල්වා එම සංවිධානයේ නියෝජිතයන් වෙත කී බව විපක්‍ෂ නායකවරයා පැවසීය.

වසර 2033 සිට ණය ගෙවීමට අවස්ථාව තිබියදී ආණ්ඩුව 2028 සිට ද්විපාර්ශ්වීය හා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන්ට ණය ගෙවීමට එකඟ වී ඇති බවත් එය රටට අයහපත් තත්ත්වයක් ඇති කරන බව ත් විපක්‍ෂ නායකවරයා පවසා ඇත.

සමගි ජන බලවේග ආණ්ඩුවකින් ව්‍යවසායකයන් ලක්‍ෂ 10ක් බිහි කරන වැඩසටහනක් ඇති කරන බවත්, සමගි ජන බලවේග ආණ්ඩුවකින් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට ම එක් කර්මාන්තශාලාවක් හෝ ඇති කරන බවත් විපක්‍ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.