රාජ්‍ය දේපල විකුණන වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙල පරාද කළ යුතු බව ජන අරගල සන්ධානයේ වසන්ත මුදලිගේ පවසා සිටියා

අද (23) වැලිමඩ පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියා

රට තුළ අර්බුධකාරි තත්වයට හේතු වූ පුද්ගලයින් මේ වන විට රනිලට සහය පල කරමින් නැවත වතාවක් රට බංකොලොත් බවින් මුදාගැනීමට අවස්ථාව ඉල්ලා සිටින බවටද ඔහු චෝදනා කරයි

මේ පිළිබද වැඩිදුරටත් අදහස් දැක්වූ වසන්ත මුදලිගේ

“රනිල් වික්‍රමසිංහ මහබැංකුව කැඩුවාම දිනේෂ් ගුණවර්ධන එහා පැත්තේ ඉදලා “කවුද හොරා රනිල් හොරා ” කිව්ව . රනිල් අනිත් පැත්තේ ඉදලා “කවුද හොරා මහින්ද හොරා ” කිව්වා. දැන් සේරම එක පැත්තේ මහින්ද රාජපක්ෂගේ පැත්තේ ඉදලා ගෝඨාභය රාජපක්ෂට දර දිය ඇදපු පිරිස දැන් රනිල් වික්‍රමසිංහට හේත්තුවෙලා. රනිල් වික්‍රමසිංහ කියනවා මම බංකොලොත් භාවයෙන් රට මුදවගත්තා, තෙල් පෝළිම් නැති කරා ,ගෑස් පෝළිම් නැති කරා, ඉතින් මට ඉතුරු අවුරුදු 5ත් කරන්න දෙන්නකෝ කියලා . මේක කියද්දි අත්පුඩි ගහනවා පවිත්‍රා දේවි. ආයේ එතනම ඉදලා නිමල් සිරිපාලද සිල්වා , ඊට එහා පැත්තේ චාමර සම්පත් දසනායක එයත් අත්පුඩි ගහනවා රට බංකොළොත් භාවයෙන් මුදාගත්තා කියලා .

දැන් අපිට අහන්න තියන ප්‍රශ්නේ තමයි මේ මෙතන ඉන්න අම්මා තාත්තාද රට බංකොළොත් කරේ ? අපිද රටේ තෙල් පෝළිම් හැදුවේ ?, රට අරාජිකතවයට අරගෙන ගියේ ?, හොරා කෑවේ ,සල්ලි කළු සල්ලි කරලා පිට රටට අරන් ගියේ ? . මෙතන ඉන්න හැමෝම තෙල් පෝළිම්, ගෑස් පෝළිම් වල හිටියා . බදුගෙව්වා , රටේ ජනතාව හැමදේම හරියට කරා . දැන් මේක කරපු අයම එකතුවෙලා කියනවා ආර්ථිකය හදන්න රට බංකොළොත් බවින් මුදවන්න ඒගොල්ලොන්ට දෙන්නලු .

රනිල් කියනවා IMF එක එයාට ණය දුන්නාලු රට බංකොළොත් භාවයෙන් මුදවගන්න. රනිල් කියන්නේ නෑ ජ්‍යාතියන්තර මූල්‍ය අරමුදලින් රටට දාපු කොන්දේසි. රනිල්ගේ වැඩ පිළිවෙල ජනතාවාදි නෑ . රනිල් විතරක් නෙවේ රාජ්‍ය දේපල විකුණන්න කියන , සාමාන්‍ය ජනතාවගේ සහන කපා දාන්න කියන ජාත්‍යාන්තර මූල්‍ය අරමුදත් එක්ක තියන දීගේ නතර කරන්න ඕන. රටේ ජාතික සම්පත් විකුණන , විරැකියාව වැඩි කරන ,මන්දපෝෂණය ඇති කරන රනිල්ගේ වැඩපිළිවෙල පරාද කරන්න ඕන . රනිල් වගේම රට අර්බුධයකට අරගෙන යන රනිල්ගේ ලිබරල් ප්‍රතිපත්තියත් පරාද කරන්න ඕන”