අද (27) හිටපු රාජ්‍ය අමාත්‍ය ඒ. එච්. එම් ෆවුසි මහතාට වසර 2ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර එය වසර 10ක කාලයකට අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නියෝග කළා.

2010 වසරේ ආපදා කළමනාකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී එම අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ කටයුතු සඳහා නෙදර්ලන්තයෙන් හිමිවූ රුපියල් කෝටි 02කට ආසන්න සුඛෝපභෝගි වාහනයක් සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදවා ගැනීම, ඒ සඳහා අමාත්‍යාංශ ලේකම්වරිය ඇතුළු බලධාරීන් පෙළඹවීම හා වාහනයේ නඩත්තු කටයුතු සඳහා රුපියල් ලක්ෂ 10කට ආසන්න මුදල් අමාත්‍යාංශ මුදලින් වැය කිරීම ආදී අධිචෝදනා 04ක් යටතේ නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුව අද කැඳවු අවස්ථාවේ දී ඒ. එච්. එම් ෆවුසි නීතිඥවරයා මාර්ගයෙන් වරද පිළිගනු ලැබුවා.

එහිදී විනිසුරුවරයා පෙන්නා දුන්නේ වසර 62ක දේශපාලන පලපුරුද්දක් ඇති ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු මෙලෙස කටයුතු කිරීම කිසිසේත්ම සුළුකොට තැකිය නොහැකි වුවත්, ඔහු මුල් අවස්ථාවේ දීම වරද පිළිගැනීම හා මේ වනවිට වයස අවුරුදු 86ක වයෝවෘධ පුද්ගලයෙකු වීම යන කරුණු සලකා ලිහිල් දඬුවම් නියම කරන බවයි.