මෙවර ජනාධිපතිවරණය සඳහා නිවැරදිව තම මනාපයක් සළකුණු කළ යුතු ආකාරය පැහැදිලි කරමින් මැතිවරණ කොමිසමෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, මෙවර ජනාධිපතිවරණයේදී එක් අපේක්ෂකයකුට තම ඡන්දයත් අනතුරුව තවත් අපේක්ෂකයන් දෙදෙනකුට දෙවන හා තුන්වන මනාපත් ඡන්ද පත්‍රිකාවේ ලකුණු කිරීමට හැකියාව ඇති අතර, එක් අපේක්ෂක‍යෙකුට පමණක්ද ඡන්දය ලකුණු කිරීමට හැකියාව ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

එහිදී තමන් කැමති අපේක්ෂකයාට ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය නම් එම අපේක්ෂකයාගේ නම හා ලකුණ ඉදිරියෙන් ඇති කොටසේ ‘1’ ඉලක්කම ලකුණු කළ යුතු බව සඳහන්.

අනතුරුව අංක ‘2’ හා ‘3’ ඉලක්කම් සලකුණු කර තමන් කැමති වෙනත් අපේක්ෂකයන්ට දෙවන හා තෙවන මනාප දැක්විය හැකි බවත් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත්, එක් අපේක්ෂකයෙකුට පමණක්ද ඔබට  ඡන්දය ලකුණු කළ හැකියි.

ඒ අනුව, පහත නිවේදනයේ සඳහන් ආකාරයෙන් කිසියම් ආකාරයට ඔබගේ මනාපය ඡන්ද පත්‍රිකාවේ සළකුණු කළ හැකියි.

ඉහත සඳහන් ආකාරයට හැර ඡන්දදායකයාගේ ඡන්දය දීමේ චේතනාව ඡන්ද පත්‍රිකාව මත කරනු ලැබූ යම් සලකුණකින් පැහැදිලිව පෙනෙන විට (උදාහරණයක් ලෙස ‘X’ පමණක් ලකුණු කර ඇති විට) එය අපේක්ෂකයාට ලබාදුන් ඡන්දයක් ලෙස සලකනු ලබන බවත් එම නිවේදනයේ සඳහන්.

එහිදී ප්‍රතික්ෂේප වනු ලබන මනාප ලෙස සළකනු ලබන්නේ,

කිසිම අපේක්ෂකයකුට ඡන්දය සලකුණු කර නොමැති විට;

එක් අපේක්‍ෂකයකුට වඩා වැඩි සංඛ්‍යාවක් වෙනුවෙන් ඡන්දය සලකුණු කර ඇති විට;

එක් අපේක්‍ෂකයකුට ‘1’ හා තවත් අයෙකුට ‘X’ (කතිරය) සලකුණු කර ඇති විට;

දෙවැනි මනාපය හෝ තුන්වැනි මනාපය පමණක් සලකුණු කර ඇති විට;

ඡන්දදායකයා වන ඔබව හඳුනාගත හැකි ආකාරයේ යමක් ලියා ඇත්නම් හෝ ඇඳ ඇති විට;

‘1 ‘හැර වෙනත් සලකුණක් සමඟ ‘2’ සහ ‘3’ මනාප සලකුණු කර ඇති විට;

1, 2, 3 ට වඩා ඡන්දය සහ මනාප සලකුණු කර ඇති විට; යනුවෙන් බවයි මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ සඳහන්.