වර්තමානයේ ලංකාවේ පවතින දේශපාලන සූදුව නතර කිරීමට අවශ්‍ය බවත් ඒ වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලවත්, ශක්තිමත් සංශෝධනයන් සිදුකරන බවත් ජාතික ජන බලවේග‍යේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

කෑගල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළා

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක

“අපට අවශ්‍යයි මේ කැත දේශපාලන සූදුව නතර කරන්න. මෙතෙක් කාලයක් ලංකාවේ දේශපාලනයේ සිදුවුයේ කුමක් ද? ඡන්දයක් එනකොට එහාට පනිනවා, මෙහාට පනිනවා. එහෙන් ගන්නවා, මෙහෙන් ගන්නවා. මොන තුට්ටුදෙකේ දේශපාලනයක් ද ලංකාවේ තියෙන්නේ ? ලෝකයේ කොහේවත් මේ වගේ අතිශය කැත, ලැජ්ජාශීලි දේශපාලනයක් ලෝකයේ නෑ. දැන් බලන්න ඔබතුමන්ලා සජිත්ගේ වේදිකාවෙයි, රනිල්ගේ වේදිකාවෙයි සිද්ධවෙන දේවල්. ඒ නිසා මේ ඡන්දෙ කාලයේ බැලුවත් ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක් තියෙන්නේ ජාතික ජන බලවේගයට විතරයි. අපි ඔය පාර්ලිමේන්තුවේ අපරාධවලට හවුල් වුණු, වංචාවලට හවුල් වුණු එහාට මෙහාට පැනපු පොහොට්ටුවේ වගේ ජාතිවාදය අවුස්සපු, ජාතිවාදී කඳවුර නියෝජනය කරපු, කිසිකෙනෙක් ගත්තු නැති එකම වේදිකාව ජාතික ජන බලවේගයේ වේදිකාව විතරයි. ඒ නිසා වෙන ඈත කරුණු අනාගත කරුණු අවශ්‍ය නෑ. මේ ටිකම ඇති කවුද හොඳ කවුද නරක කියලා තෝරාගන්න. හැබැයි මතක තියාගන්න සැප්තැම්බර් 21 අපි දිනමු. ඊට පස්සේ පාර්ලිමේන්තුවත් දිනමු. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලවත් සංශෝධනයක් ගේනවා. ශක්තිමත් සංශෝධනයක් ගේනවා. පැන්නොත් මන්ත්‍රීකම ඉවරයි.”