මුදල් විෂයභාර අමාත්‍යවරයාගේ විශේෂ අනුමැතියක් ලබා ගැනීමකින් තොරව අත්‍යවශ්‍ය වියදම් දැරීම සඳහා අක් මුදල් නිදහස් කිරීමේ බලය මුදල් විෂය භාර අමාත්‍යාංශයේ ලේකම්ට පැවරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී ඇත.

අද (01) ඇතැම් වියදම් සඳහා මහා භාණ්ඩාගාරය විසින් අදාළ අමාත්‍යාංශ වෙත අක්මුදල් නිදහස් කිරීමේදී එවැනි වියදම් වල ප්‍රමුඛතාව මත පදනම්ව මුදල් විෂය භාර අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා ගත යුතු බවට 2023-02-13 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස් වීමේදී තීරණය කර තිබු බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ අවස්ථාවේදී කියා සිටියේ​ය.

එහෙත්, තවදුරටත් අක් මුදල් නිදහස් කිරීමේදී ප්‍රමුඛතා පදනමක් භාවිත කිරීමේ අවශ්‍යතාවක් නොපවතින බව නිරීක්ෂණය වු බව අමාත්‍යවරයා කියා සිටි​යේය.

මුදල් විෂයභාර අමාත්‍යවරයාගේ විශේෂ අනුමැතියක් ලබා ගැනීමකින් තොරව අත්‍යවශ්‍ය වියදම් දැරීම සඳහා අක් මුදල් නිදහස් කිරීම පිණිස මුදල් විෂය භාර අමාත්‍යාංශයේ ලේක​ම් ට බලය පැවරීම සඳහා මුදල් ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ..