ඊයේ (07) සවස නෙළුම් කුලුනේ 29 මහලේ පිහිටි නැරඹුම් මැදිරියෙන් පැන සියදිවි හානිකරගත් පාසල් සිසුවිය පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බව වාර්තා වේ.

මිය ගිය පාසැල් සිසුවිය රත්ද්‍යා ගුණසේකර නම් වූ වයස අවුරුදු 16 ක කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි පොලීසිය පවසන්නේ.

මෙම පාසල් සිසුවිය කොළඹ නගරයේ ජාත්‍යන්තර පාසලක 11 වසරේ ඉගෙනුම ලබන පාසල් සිසුවියක් බවත්, ඇය පාසල් නිමවීමෙන් පසු නෙළුම් කුලුන වෙත ගොස් 29 වන මහලෙන් පැන සිය දිවි හානිකර ගෙන ඇති බවත් පොලීසිය සිදු කළ පර්යේෂණ වලදී හෙලි වී ඇත. කෙසේ වෙතත් සිය යහළුවන්ගේ තුන් මාසේ දානයටද ඇය සහභාගි වී ඇති බවත් මේ තීරණය ඉන් පසුව ගනු ලැබූ එකක් බවත් පැවසෙයි.

තවද මෙම පාසල් සිසුවිය මීට මාස කිහිපයකට පෙර කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ මහල් නිවාස සංකීර්ණයකින් පැන සිය දිවි හානිකරගත් පාසල් සිසුවාගේ සහ සිසුවියගේ මිතුරියක් බවත්, එම සිදුවීම නිසා ඇය දැඩි මානසික පීඩනයකින් පෙළුණු බවටත්, ඇයගේ පියා විසින් පොලීසිය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් පවසා ඇතැයි සඳහන් වේ.

මිය ගිය සිසුවිය පාසල් ඇරී නිවෙස වෙත නොගොස් හුදෙකලාව මෙම ස්ථානය වෙත පැමිණ ඇති අත​ර සිය නිල ඇඳුම පාසල් බෑගයේ දමාගෙන ඇය පැමිණ ඇත්තේ පාට ඇඳුමක් ඇඳගෙනයි.

නෙළුම් කුළුනේ 29 තට්ටුවෙන් පැන ඇති දැරිය 3 වැනි තට්ටුවේ විවෘත ස්ථානයකට ඇද වැටී ඇති අතර ඉන් ඇයගේ හිසට බරපතළ හානි සිදුව එතැනම මිය ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

මෘත ශරීරය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණ පවත්වා පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මරදාන පොලීසිය සිද්ධිය සමස්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි