වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරියව පත්කිරීම ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත කර ඇත.

පවතින නීතියට අනුව වැඩබලන පොලිස්පතිවරයෙක් පත්කර දින 14කට වඩා වැඩි කාලයක් පවතින්නේ නම්, ඒ සඳහා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ලබා ගත යුතු වන අතර ඉකුත් සැප්තැම්බර් මස 27 වනදා වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරියව පත් කරණු ලැබීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරි ඇති බලතල ප්‍රකාරව එම පත්කිරීම සිදුකර කර තිබුණු අතර වසර 158ක පොලිස් ඉතිහාසය තුළ පොලිස් කොස්තාපල්වරයකු ලෙස සේවයට එක්වී පොලිස්පතිවරයා ලෙස පත්වීම් ලද එකම නිලධාරියා වන්නේද ප්‍රියන්ත වීරසූරිය වේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරියෙක් වන ඔහු ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීතිඥවරයකු වශයෙන් දිවුරුම් දීමෙන් පසු සහකාර පොලිස් අධිකාරිවරයෙක් ලෙස උසස්වීම් ලබා ඇත. තවද ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙන් මානව සම්පත් කළමනාකරණය සම්බන්ධ පශ්චාත් උපාධිය (2017-2020) ද ලබාගෙන ඇත.

පොලිස් අපරාධ හා රථවාහන දිශාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස හා පොලිස් සැපයුම් අධ්‍යක්ෂවරයා ලෙසද සේවය කොට ඇති වීරසූරිය නැගෙනහිර ටිමෝරය සහ හයිටි රාජ්‍යයේ ද එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු සඳහා ද එක්ව ඇත.

කෙසේ නමුත් වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කෙරෙන විට ඔහු උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස රාජකාරියේ නිරතව සිට ඇත.