ලබන නොවැම්බර් 14 වනදා පැවැත්වීමට නියමි​ත පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළව ප්‍රධාන දේශපාලන පක්ෂ නාම යෝජනාවලට අත්සන් කිරීමේ කටයුතු අවසන් අදිරයේ ඇති බව වාර්තා වේ.

ඒ අනුව පොදු ජන පෙරමුණේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පැවසු​වේ එම පක්ෂයේ නාම යෝජනා සකස් කිරීමේ කටයුතු අද දිනය තුළ අවසන් කරන බව​යි.

එමෙන්ම ජාතික ජනබලවේගය ගාල්ල, කළුතර, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක සඳහා ඊයේ නාමයෝජනා අත්සන් කර ඇත. එහි​දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරියගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික්කය සදහා නාමයෝජනා අත්සන් තැබූ බව වාර්තා ​වේ.

මේ අතර සමගි ජන බලවේගයේ නාම යෝජනා අත්සන් කිරීමේ කටයුතුද පිටකෝට්ටේ පිහිටි සමගි ජනබලවේග මූලස්ථානයේ දී සිදු කෙරුණී.

එමෙන්ම ලංකා කම්කරු කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය ඊයේ රැස් වූ අතර, එම පක්ෂ​යේ මහ ලේකම් ධූරය දරන හිටපු අමාත්‍ය ජීවන් තොන්ඩමන්  පැවසුවේ තම පක්ෂ​ය නුවරඑළිය දිස්ත්‍රික්කයට අලියා ලකුණින් තරග වැදීමට තීරණය කළ බවයි.

එමෙන්ම අනෙක් දිස්ත්‍රික්කවලට ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ තරග වැදීමටද එහිදී තීරණය වී ඇත.

මේ අතර දිස්ත්‍රික්ක 22 සදහා මේ වන විට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 33 ක් නාමයෝජනා භාර දී තිබේ.

මහ මැතිවරණය සඳහා නාම යෝජනාභාර ගැනීම ඔක්තෝම්බර් මස 4 වනදා ආරම්භ වූ අතර ලබන 11 වනදා මධ්‍යාහ්න 12.00 දක්වා සිදුකිරීමට නියමිතය ​වේ.

මේ අතර මහ මැතිවරණයට අදාළ තැපැල් ජන්ද අයඳුම්පත් භාර ගැනීමේ කාලය ලබන ඔක්තොම්බර් 10 වනදා දක්වා දීර්ඝ කර තිබේ.