ඊයේ(08) පසුගිය වස​රේ වෛද්‍ය සැපයුම් අංශය සිදුකළ එන්නත් මිලදී ගැනීමකදී රජයට රුපියල් මිලියන 97 ක පාඩුවක් සිදුව ඇති බවට නීතිපතිවරයා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේ​ය.

එහිදී අනාවරණ වූයේ මෙම වංචාවත් ප්‍රශ්නගත හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මිලදී ගැනීමේදි රජයේ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයාව සිටි කපිල වික්‍රමනායකගේ පාලන සමයේදී ම සිදුව ඇති බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ කරුණු වාර්තා කරනු ලැබු​වා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම එහිදී සඳහන් කළේ ලැක්ටියුලොස් නම් ඖෂධය මිලදී ගැනීමේදී මෙම වංචාව සිදු ඇති බවයි.

ඇය අධිකරණය හමුවේ කියා සිටියේ ලැක්ටියුලොස් මිලිලීටර් 120 නමැති සිරින්ජරය වෛද්‍ය සැපයුම් අංශයට සැපයීමට මෙඩිකොම් නමැති ආයතනය වසර 5කට ගිවිසුම් ගත වී ඇති නමුත් එම ආයතනය සතු ඖෂධ සැපයීමට අදාළ ලියාපදිංචි සහතිකය කල් ඉකුත් වීම නිසා පසුගිය වසරේ යම් කාලයකට ඖෂධය සැපයීමට ඔවුන්ට නොහැකි වී ඇති බවයි.

එම සමාගම එවකට වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයාව සිටි කපිල වික්‍රමනායකට අදාළ ඖෂධ සිරින්ජර කුප්පියක් රුපියල් 1408කට ලබා දිය හැකි අතර ලියාපදිංචි සහතිකය හැකි ඉක්මණින් සකස් කර ගන්නා බවට දැනුම් දී තිබූ බවද විමර්ශනවලදී හෙලිව ඇති බවයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කළාය.

එසේ තිබියදීත් වෛද්‍ය සැපයුම් අංශය එක් සිරින්ජරයක් රුපියල් 2490 බැගින් ලබා ගැනීම සඳහා නිව්ජන් නැමැති වෙනත් සමාගමකට ටෙන්ඩර් ලබා දී ඇති බවද අනාවරණය විය. එලෙස එන්නත් සිරින්ජර් 90,000ක් සඳහා ටෙන්ඩරය ලබාදීමෙන් රජයට රුපියල් මිලියන 97.3 ක පාඩුවක් සිදු වී ඇත.

ඒ අනුව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ මේ සම්බන්ධ පැමිණිල්ල අල්ලස් කොමිසමට යොමු කර විමර්ශනයක් ආරම්භ කරන ලෙසයි. එහි​දී කරුණු සලකා බැලූ මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මෙම පැමිණිල්ලට අදාළව ඉදිරි පියවර ගන්නා ලෙස අල්ලස් කොමිසමට නියෝග කර ඇත.

මේ අතර ප්‍රශ්නගත ප්‍රමිතියෙන් තොර එන්නත් සම්බන්ධයෙන් වූ නඩුව ඊයේ යළි මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අතර එහිදී මේ වන විට රිමාන්ඩ් කර සිටින ප්‍රශ්නගත ප්‍රමිතියෙන් තොර ඖෂධය සැපයූ සැපයුම්කරු වෙනුවෙන් නීතිඥවරු ඉදිරිපත් කළ ඇප අයදුමට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම සිය විරෝධය පළකරනු ලැබී​ය.

කරුණු සලකා බැලූ මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය මේ මස 22 දක්වා සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.