හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අලුත් පක්ෂයකින් මෙවර මහ මැතිවරණය සඳහා තරග වැදීමට සූදානම් වන බව වාර්තා වේ.

ඔ​හු එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ යන පක්ෂයෙ​න් මෙවර මහ මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට සූදානම් වන බවයි වාර්තා වන්නේ.

මීට දින කිහිපයකට පෙර රාමනායක​ගේ ප්‍රජා අයිතිය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට අදාළ ලිපි ලේඛන සමඟ ඔහු ජනාධිපති කාර්යාලයට ගොස් තිබූ අත​ර අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් රන්ජන් රාමනායක කියා සිටියේ සිය ප්‍රජා අයිතියට අදාළ ලිපි ලේඛන කිහිපයක් රැගෙන එන ලෙස තමාට ජනාධිපති කාර්යාලයෙන් දැනුම් දී ඇති බවයි.

“මම NPP නායකයින් ඇමතුවා. මගේ ප්‍රජා අයිතීන් ප්‍රතිෂ්ඨාපනය කරන ලෙස මා කළ ඉල්ලීමට ඔවුන් අවනත වුණා. මම අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා එක්කත් දුරකථනයෙන් කතා කළා.” ඔහු මාධ්‍යවේදීන් හමුවේ එහිදී කියා සිටියේය.

“මැතිවරණයට ඉදිරිපත් වීම තහනම් කරලා ඡන්ද අයිතියත් නැති කළා. මට ජනාධිපතිවරණයේදී ඡන්දය පාවිච්චි කරන්න පුළුවන් ඡන්ද පත්‍රිකාවක් ලැබුණා. ඒත් මම රටින් පිට හිටිය නිසා මට ඡන්දය දෙන්න බැරි වුණා.”

තම ප්‍රජා අයිතිය යළි ලබා දෙන්නේ නම් එන්පීපීයෙන් මහ මැතිවරණයට තරග කරන්නේ දැයි ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් රන්ජන් රාමනායක මහතා එහිදී කියා සිටියේ ඒ ගැන කිසිවක් කීමට තවමත් කල් වැඩි බවයි.