ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ටී. එම්. ඩිල්ෂාන් යළිත් වරක් තම දේශපාලන පක්ෂය මාරු කරමින් මෙවර රන්ජන් රාමනායක පිහිටුවා ගෙන තිබෙන නව පක්ෂය වන ‘එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඩ’ පක්ෂය සමඟ අද (09) එක්විය.

නව පක්ෂයේ ජාතික සංවිධාකයවරයා ලෙස ඔහු කටයුතු කරන අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ්ද එම පක්ෂයේ මහමැතිවරණ අපේක්ෂකයෙක් ලෙසට කටයුතු කරයි.

තිලකරත්න ඩිල්ෂාන් පසුගිය ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය දැක්වූ අතර ඔහුව සමගි ජනබලවේගය පක්ෂයේ කළුතර දිස්ත්‍රික් සංවිධායකවරයකු ලෙසද පත් කර තිබුණි.

කෙසේවෙතත් ජනාධිපතිවරණය අවසන් වී මසක් ගතවන්නටත් පෙර ඔහු සජිත් ප්‍රේමදාස හැර දමා රංජන් රාමනායක සමඟ එක්ව ඇත.

මීට පෙර දැඩි රාජපක්ෂවාදියෙකු වූ තිලකරත්න ඩිල්ෂාන් 2019 ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වීමටද කටයුතු කලේය.

කෙසේවෙතත් තිලකරත්න ඩිල්ෂාන් මේ වන විට ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබාගත් පුද්ගලයෙක්ද වේ.