පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් කොළඹ අවිස්සාවේල්ල මාර්ගයේ ඇස්වත්ත මංසන්ධිය සිට හිගුරල මංසන්ධිය දක්වා කොටස ජලයෙන් යටවී ඇත.

ඒ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී ඇති බව පොලීසිය සඳහන් කර ඇති අතර කඩුවෙල, වැලිහිද බෝධිය අසළදී පුද්ගලයෙකු ඇලකට වැටී අතුරුදන්ව තිබෙන බව වාර්තා වේ.

නවගමුව පොලිසිය විසින් ඔහු සෙවීමේ කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා ​වේ.

මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද පෙරවරුවේ නිකුත් කළ නවතම වාර්තාවට අනුව උදෑසන 06 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතතනය හොරණ ප්‍රදේශයට ලැබී තිබේ.

එය මිලි මීටර් 239 ක් වන අත​ර ඊට අමතරව ඇල්පිටිය, බුලත්සිංහල, මතුගම, වළල්ලාවිට,සීතාවක සහ ඇහැළියගොඩ යන ප්‍රදේශවලට මිලිමීටර් 180 ට වැඩි වර්ෂාපතනයක් ලැබී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කර ඇත.