ඉන්දියාවේ අදානි සමාගම විසින් මන්නාරම, වෙඩිතලතිව් ප්‍රදේශයේ සුළං විදුලි බලාගාරයක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳව යළි කරුණු සලකාබැලීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත.

එම සුළං විදුලි බලාගාරය ස්ථාපිත කිරීමට අදාළව ශ්‍රී ලංකා රජය  සහ ඉන්දියාවේ අදානි සමාගම අතර ඇතිකරගෙන තිබෙන ගිවිසුම බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (14) කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදුකළේය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය විසින් මෙම දැනුම්දීම සිදුකළ අතර එ​ම පෙත්සම් අද එස්. තුරෙයිරාජා, ඒ.එච්.එම්.ඩී. නවාස්, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පූලි සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

වනජීවී හා ස්වභාවික සම්පත් ආරක්ෂක සංගමය, පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

මෙම පෙත්සම් අද (14) කැඳවූ අවස්ථාවේදී අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා සහ බලශක්ති අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටි​යේ මේ මස 07 වනදා යෝජිත සුලං බල ව්‍යාපෘතිය පිළිබඳව යළි කරුණු සලකාබැලීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇති බවයි.

ඒ අනුව ශ්‍රී ලංකා රජය හා ඉන්දීය අදානි සමාගම අතර ඇතිකරගත් ගිවිසුමේ අන්තර්ගත කරුණු සහ පෙත්සම් වල අන්තර්ගත කරුණු සැලකිල්ලට ගෙන අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් යළි කරුණු සලකා බැලීමට නියමිත බවත් ඉන් අනතුරුව ඊට අදාළව තීරණයක් ගැනීමට නියමිත බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කළාය.

වත්මන් අන්තර්වාර අමාත්‍ය මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇතැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ඉදිරි මහ මැතිවරණයෙන් පසුව ස්ථාපිත කිරීමට නියමිත නව අමාත්‍ය මණ්ඩලය විසින් මීට අදාළ ව ගනු ලබන තීරණය දැනුම්දීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියාය.

එතෙක් අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දැනට පවතින තත්ත්වය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමට කටයුතු කරන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය වාචිකව අධිකරණයට දන්වා සිටියාය.

මෙම කරුණු කෙරෙහි එකඟතාවය පළ කළ පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරු අදාළ පෙත්සම්වල වගඋත්තරකරුවන්ගේ වෙනස් වීම් සිදුවී ඇති නිසා ඉදිරියේදී පත්වීමට යෝජිත අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්ද වගඋත්තරකරුවන් කරමින් පෙත්සම සංශෝධනය කිරීමට අවසර දෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

එම ඉල්ලීමට අවසර ලබාදුන් අධිකරණය මෙම කටයුතුවලට අදාළව රජයේ යම් නිරීක්ෂණයක් වේ නම් ඒවා ලබන ජනවාරි මස 31 වනදාට පෙර ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් නියෝග කර ඇත.