අයහපත් කාලගුණ තත්ත්වයෙන් වැඩි ම බලපෑමට කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල ජනතාව ලක්ව ඇති බව ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආපදා කළමනාකරණ) කේ.පී. ධර්මතිලක පවසයි.

එමෙන්ම ආපදාවට පත් වූ ජනතාවට විශේෂ සහන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවද ඊයේ (ඔක්. 14) පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කලේය.

මේ අතර, දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 12කට බලපෑම් සිදුව ඇති බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

පසුගිය ඔක්තෝබර් 7 වන දා සිට ඊයේ (ඔක්. 14) වන විට ගංවතුර, නාය යෑම්, අකුණු සහ තද වැසි සහිත කාලගුණ තත්ත්වයෙන් කළුතර, රත්නපුර, කොළඹ, ගම්පහ, කෑගල්ල, ගාල්ල, කුරුණෑගල, පුත්තලම, මහනුවර, කිලිනොච්චිය, පොළොන්නරුව හා හම්බන්තොට දිස්ත්‍රික්කයන්හි ජනතාව පීඩාවට පත්ව ඇතැයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ අතර, ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය දිස්ත්‍රික් අටකට නාය යෑම් අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර ඇත.

දිස්ත්‍රික්ක 12ක ක්ෂණික ජලගැලීම්, අධික සුළං, අකුණු, කණ්ඩි කඩා වැටීම් සහ ගස් කඩා වැටීම් හේතුවෙන් පවුල් 39,123ක පුද්ගලයන් 152,424ක් අවතැන් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඊයේ වාර්තා කර ඇත.

සුරක්ෂිත මධ්‍යස්ථාන 69ක පවුල් 1,927ක පුද්ගලයන් 7,918ක් රඳවා ඇති බව එම මධ්‍යස්ථානය නිවේදනය කළේ ය.

මේ අතර, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ආපදා තත්ත්වය සහ ආපදා සහන වැඩපිළිවෙල පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආපදා කළමනාකරණ) කේ.පී. ධර්මතිලක පැවසුවේ,

“මෙම ආපදාව නිසා මරණ තුනක් වාර්තා වෙනවා. තුවාල සිදුවීම් දෙකක් වාර්තා වෙලා තියෙනවා. පූර්ණ නිවාස හානි එකක්. අර්ධ නිවාස හානි 405ක් වාර්තා වෙනවා. වැඩිපුර ම බලපෑම් කරන්නේ, කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලමට තමා වැඩි පීඩාවක් වෙලා තියෙන්නේ. සුරක්ෂා නිවාසවල අපි රැකවරණය දෙන 10,369ක් වූ සාමාජිකයන්ට අවශ්‍ය පිසූ ආහාර, වෛද්‍ය පහසුකම් හා කුඩා දරුවන්ට කිරි, වැඩිහිටියන්ට තේ ලබා දෙනවා.

ඔවුන්ව සුරක්ෂිතව තබා ගැනීමට රජය විශේෂ කැපකිරීමක් කරනවා. විශේෂයෙන් ම ජනාධිපතිතුමා අද දිනයේ තවත් මිලියන 50ක් වෙන් කළා මේ වැඩකටයුතු සඳහා. මේ වනවිට අපි ප්‍රධාන පීඩාවට පත්වූ දිස්ත්‍රික්ක 4 තුළ මිලියන 33ක් දිසාපතිවරුන්ට ලබා දී තිබෙනවා” බවයි.