ලංකා විදුලිබල මණ්ඩලයේ වගකීම් විරහිත ක්‍රියාකලාපය හේතුවෙන් පසුගිය ඔක්තෝම්බර් 1 වැනිදා සිදුකිරීමට නියමිතව තිබූ විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ඛනිජ තෙල් වෘත්තීය සමිති ලංකා විදුලිබල මණ්ඩලයට දෝෂාරෝපණය කරයි.

කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම සංගමයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මෙම ගැටලුව සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරමින් කියා සිටියේ,

“විදුලි ගාස්තු සංශෝධනයට අවශ්‍ය දත්ත ලංවිම විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට මෙතෙක් ලබා දී නැහැ. දැනට ලංවිමේ ශුද්ධ ලාභය රු. බිලියන 155ක්. තවදුරටත් සූරාකෑමට ඉඩදෙන්නේ ඇයි?” යනුවෙනි.

එසේම, ඒ සඳහා මැදිහත් වන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි ඔහු, “ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් කැපවී සිටිනවා නම්, මේ කාලය පුරාම විදුලිබල මණ්ඩලය කළේ කුමක්දැයි ඔබ ප්‍රශ්න කළ යුතුයි. විදුලි බිල සංශෝධනය කිරීමට වහාම පියවර ගත හැකි අතර එය අවම වශයෙන් 45% කින් අඩු කළ හැකියි.”