විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න පත් කර තිබේ.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න 1990දී කැලණිය විශ්වවිද්‍යාලයෙන් රසායන විද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධිය ද, 1997දී අමෙරිකා එක්සත් ජනපදයේ වේන් රාජ්‍ය සරසවියෙන් ආචාර්ය උපාධිය ද ලබා ගෙන ඇත.

තව​ද 1998දී කැනඩාවේ බ්‍රිටිස් කොලොම්බියා විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් ආචාර්ය උපාධි​ය සඳහා සුදුසුකම් ලබා ඇත.

මහාචාර්ය කපිල සෙනෙවිරත්න ආහාරයට ගත හැකි තෙල් වර්ගවල රසායනික සහ පෝෂණ ගුණ පිළිබඳ ඉහළ නමක් දිනා සිටින පර්යේෂකයෙකු ද වේ.

2014- 2017 දක්වා විද්‍යා පීඨයේ පීඨාධිපති ලෙස ද කටයුතු කර ඇති ඔහු විශ්වවිද්‍යාලයේ පර්යේෂණ සභාවේ සභාපතිවරයා ලෙස ද Ethics Review committee හි සභාපතිවරයා ලෙස ද කටයුතු කර තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ දැනුම්දීම මත පසුගිය​දා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග සහ සාමාජිකයන් ඔක්තෝබර් 14 වන දා තම ධූරවලින් ඉල්ලා අස් විය.