ඇතැමුන් බලය ඉල්ලා සිටින්නේ විපක්ෂය ගොඩනැගීමට වුවත් තමා ඇතුළු නව ප්‍රජාතාන්ත්‍රික පෙරමුණ බලය ඉල්ලා සිටින්නේ ශක්තිමත් ආණ්ඩුවක් ගොඩනැගීමට බව එම පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සුගීෂ්වර බණ්ඩාර පවසයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගෙන් උදුරාගත් ආර්ථික වැඩපිළිවෙල නැවත ඉදිරියට ගෙන ගොස් ඔහුගේ නායකත්වය යටතේ මේ රටේ ආර්ථික අර්බුධය අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

“ප්‍රභාස්වර හෙටකට සුගීෂ්වර කොළඹට” යන්න තේමාව කරගත් සුගීෂ්වර බණ්ඩාරගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රචාරන කටයුතු ආරම්භ කිරීම හා නිල තේමා ගීතය එළිදැක්වීම පිළියන්දල ග්‍රෑන්ඩ් ග්ලීම් හෝටල් පරිශ්‍රයේදි පසුගියදා 20 වෙනිදා සිදු කරනු ලැබීය.

මෙවර මැතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් නොවුනත් එතුමාගේ නායකත්වය යටතේ ගෑස් සිලින්ඩරයේ කණ්ඩායම මැතිවරණයට ඉදිරිපත්ව ඇති බවත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය වන්නේ අන් කිසිවක් නොව රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආර්ථික වැඩ පිලිවෙල බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේය.

එමෙන්ම තවදුරටත් අදහස් ප්‍රකාශ කල ඔහු කියා සිටියේ ජනාධිපති මැතිවරණය අවසන් වී සති තුනක් පමණ ගතවී ඇතත් අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ජාතික ජනබලවේග ආණ්ඩුව මැතිවරණයේදී දුන් පොරොන්දු ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමට අසමත් වී ඇති බවයි. ඉන්ධන වලින් කොමිස් මුදලක් ලබා ගන්නා නිසා ඉන්ධන මිල ඉතා විශාල ලෙස පහල දැමිය හැකි බව කියා සිටියත් එය එසේ නොකර ජනතාව මුලාවට ලක් කර ඇති බවත් ආනයනික බදු වැඩි කිරීම නිසා සැමන්, උම්බලකඩ, හාල්මැස්සන්, ලොකු ලූණු මිළ ඉහල ගොස් ඇති අතර මැතිවරණ කාලයේදී ඔවුන් ප්‍රකාශ කලේ බඩු මිළ පාලනය කිරීමට බැරි ආණ්ඩුවක් වැඩක් නෑ යන්නයි. ඒ නිසා අද ජනාධිපතිවරයාට ඒ වචනම පාර වළල්ලක් වී ඇති බවයි. හාල් මිළ හා පොල් මිළ වැඩි වී ඇති බවත් උද්ධමනය වැඩි වීම ආරම්භ වී ඇති නිසා නැවතත් මේ රට ගමන් කරමින් ඇත්තේ ආර්ථික අර්බුධයක් දෙසට බවත් එවැන්නක් කළමණාකරණය කිරීමට හැකි නායකයෙකු වන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා පමණක් බවත් ඔහු ප්‍රකාශ කර සිටියි.