ලලිත් වීරරාජ් සහ කූගන් මුරුගනන්දන් යන සිවිල් ක්‍රියාකාරීන් දෙදෙනාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීමට තමන් සූදානම් බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද සිය කැමැත්ත පලකර ඇත.

ඒ, අතුරුදන් වූ එකී සිවිල් ක්‍රියාකාරීන් දෙදෙනාගේ ඥාතීන් විසින් මීට පෙර අභියාචනාධිකරණය ලබා දී තිබුණු තීන්දුවක් අභියෝගයට ලක් කරමින්, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබුණු පෙත්සමක් කැදවූ අවස්ථාවේ දී ය.

ලලිත් සහ කූගන් යන සිවිල් ක්‍රියාකාරීන් දෙදෙනාගේ අතුරුදන්වීම සිද්ධ වී තිබුණේ 2011 වසරේදි වන අතර එවකට ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරමින් සිටියේ ගෝඨාභය රාජපක්ෂයි.

ලලිත් සහ කූගන්ගේ අතුරුදන් වීම පිටුපස එවකට පැවති මහින්ද රාජපක්ෂ රජය සිටින බවට සැකයක් මතු වීමට හේතුව වූයේ ඔවුන් දෙදෙනාගේ අතුරුදන් වීම පිළිබදව කළ විමසීමකදී එවකට කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වූ කෙහෙළිය රඹුක්වැල්ල, අදාල පුද්ගලයන් දෙදෙනා පොලිසිය භාරයේ සිටින බව ප්‍රකාශ කිරීම හේතුවෙනි.

ලලිත් සහ කූගන්ගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් නඩුවක් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ අතර, 2019 වසරේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව යාපනය මහේස්ත්‍රාත් අධිකරණය සිතාසි නිකුත් කළේ ය.

තමන්ට ජීවිත තර්ජන ඇති බැවින් සිතාසි යළි කැදවන ලෙස ගෝඨාභය ඉල්ලා සිටියේය. පසුව ඔහු ජනාධිපති ලෙස පත් වූ අතර, එම හේතුව මත, සාක්ෂිකරුවෙකු ලෙස ඔහු කැදවීමේ හැකියාවක් නොවී ය.

තවදුරටත් ඔහු ජනාධිපති ධූරයේ නොසිටින බැවින්, ලලිත් සහ කූගන්ගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් වූ නඩුවේ සාක්ෂිකරුවකු ලෙස ගෝඨාභය රාජපක්ෂ කැදවන්නයි, පැමිණිලි පාර්ශ්වය ඉල්ලා සිටියි.

ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ පවසා ඇත්තේ, රටේ වෙනත් ඕනෑම මහේස්ත්‍රාත් අධිකරණයක මෙම නඩුවට අදාලව සාක්ෂි ලබා දීමට සිය සේවා දායකයා සූදානම් නමුත්, යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමට ඔහුට නොහැකි බවයි.

නඩුව 2025 වසරේ මාර්තු 18 යලි කැදවීමට නියමිතයි.