අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ඒඩ්ස් රෝගය වැලඳුනු පුද්ගලයින්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බව ලිංගාශ්‍රිත රෝග සහ HIV මර්දන වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය අජිත් කරවිට පවසයි.

මේ වසරේ ගතවූ කාලසීමාව තුළ රෝගීන් 17 දෙනෙකු වාර්තා වී ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

මේ පිලිබඳ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,

“අපිට ගිය වර්ෂයේ 21ක් වගේ තමා වාර්තා වුණේ. ඊට කලින් වර්ෂයේ 33ක් වාර්තා වුණා. ඒ කියන්නේ කොවිඩ්වලින් පසුව. නමුත් මේ වර්ෂයේ මේ වනවිට රෝගීන් 17ක් වාර්තා වුණා. මේ තියෙන්නේ වාර්තා වෙන සංඛ්‍යාවන්. එහෙම නැතිව කොච්චර තියෙනවා ද කියලා සැක සහිතයි. මේක කුඩා සංඛ්‍යාවක් වුණත් 2002 වසරේ ඉඳලා මේ වෙද්දි රෝගීන් 148ක් ඉන්නවා. අපි දිනකට රෝගීන් දෙතුන් දෙනෙකුට ප්‍රතිකාර ලබාදීමට කටයුතු කරනවා. අපි රෝග වැළැක්වීමේ අරමුණින් කොණ්ඩම් ප්‍රවර්ධනය හා පුර්ව හා පසු නිරාවරණ ප්‍රතිකාර මහජනතාව තුළ ප්‍රචලිත කරන්න බලාපොරොත්තු වෙනවා.

මෙහි වයස ගැන සාකච්ඡා කරද්දි ගොඩක් වෙලාවට මවගෙන් දරුවාට සම්ප්‍රේෂණය වුණ අනුරාධපුරයේ දරුවන් පස්දෙනෙක් ඉන්නවා. ඊට පස්සේ තමන්ගේ ලිංගික චර්යාවලින් අවුරුදු 15 – 24 වගේ ළමයි වාර්තා වෙනවා. ඊට පස්සේ වැඩිහිටියන් 25 – 49 වගේ තමයි ලංකාවේ HVI වැඩි වශයෙන් ලංකාවේ වාර්තා වෙන්නේ. මෙතැන තව කාරණයක් තියෙනවා මොනවගේ අයගේ ද මේක ව්‍යාප්ත වෙන්නේ කියලා. ඉස්සර නම් විරුද්ධ ලිංගික සම්බන්ධතාමයි කියලා තිබුණ තර්කය වෙනස් වෙලා පුරුෂ මුලික තත්ත්වයකට පත්වෙලා. ඒ නිසා පුරුෂයින් අතර තමා මේක දැන් යන්නේ. ඒ කියන්නේ පුරුෂ සමලිංගික සබඳතාවය සැලකිය යුතු මට්ටමකින් මෙම වසංගත තත්ත්වයට බලපාලා තියෙනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.