අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට රටක් පාලනය කිරීමට අවශ්‍ය කුසලතාව, හැකියාව සහ දක්ෂතාව නොමැති බව පෙන්වා ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසයි. හෙතෙම මෙලෙස පැවසුවේ ඊ​යේ (27) දෙහිවල පැවැති ජන හමුවක් අමතමිනි.

එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස කියා සිටියේ,

‘‘අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය රටක් පාලනය කිරීමේ දී අවශ්‍ය කුසලතාව හැකියාව හා දක්ෂතාව නොමැති බව පෙන්වලා ඉවරයි. මැතිවරණයෙ දි කියපු විදියට අත්‍යාවශ්‍ය ආහාරවල මිල පාලනය කරන්න බැරි වෙලා තියෙනවා. එම නිසා පොල් ගෙඩිය මිලදී ගන්නත් පෝලිමේ යන්න වෙලා තියෙනවා. රටේ ජනතාවගේ ආදායම අඩුවෙලා බඩු මිල ඉහළ යාම නිසා දුදරුවන්ට අවශ්‍ය ආහාර ටික දීගන්න විදියක් පවුල් ලක්ෂ ගණනින් වැඩි වෙලා. මන්දපෝෂණය වර්ධනය වෙලා; මව්වරුන්ගේ දරුවන්ගේ සෞඛ්‍ය සම්පන්න භාවය අඩු වෙලා..”

” මේ රජයට ජනතාව ජීවත් කරවන්න පුළුවන් විදියේ විසඳුම් නෑ. ඉදිරි වසර හතර තුළ රටේ ආර්ථිකය වේගයෙන් ඉදිරියට යා යුතු යි. මන්දගාමී ආර්ථිකයක් තුළ ණය ගෙවන්න බෑ. මෙවැනි තත්ත්වයක් තුළ ජනතාව ජීවත් කරවන්න පුළුවන් සමගි ජන බලවේග රජයකට විතරක්ක් නිසා ඒ වෙනුවෙන් එක්වෙන්නයි කියල මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේ ම හැමෝටම එකට එකතු වෙලා ජීවත් වෙන්න පුළුවන්, මූලික අවශ්‍යතාව සපුරා ගත හැකි රටක්, කුසගින්නෙන් බඩගින්නෙන් තොර රටක් නිර්මාණය කරන්න සමගි ජන බලවේග රජයකට ශක්තිය ලබා දීලා ලක්ෂ දෙසිය විස්සක ජනතාවගේ අවශ්‍යතාව මත රට ගොඩනගන්න අපි සුදානම්.’’ බවයි.