පාඩු ලබනවා යැයි පවසමින් පසුගිය සමයේ විකිණීමට ලංසු කැඳවා තිබූ මිල්කෝ ආයතනය ඔක්තෝබර් මාසය තුළ රුපියල් මිලියන 2000ක අලෙවි ඉලක්ක සපුරා ගැනීමට සමත්වී ඇත. ඒ පසුගිය මාසයේ මෙතෙක් ලැබූ ඉහළම පිරිවැටුම සනිටුහන් කරමිනි.

පශු සම්පත් අමාත්‍යාංශයේ ලේකම් නිශාන්ත වික්‍රමසිංහ පැවසුවේ නව රජය පත්වී මාසයක පමණ කෙටි කාලයක් තුළ මෙම අලෙවි ඉලක්ක සපුරා ගැනීමට හැකිවීම ඉතා සුබදායී කරුණක් බවයි.

කෙසේ නමුත් මේ වන විට එම ආයතනයට රුපියල් බිලියන 1.8ක බැංකු අයිරාවක් පවතින බවත් බැංකු පොලිය ලෙස වසරකට රුපියල් මිලියන 240ක් ගෙවීම සිදු කරන බවත් ඔහු තවදුරටත් පවසා ඇත.

මිල්කෝ ආයතනයේ වත්මන් සභාපති, හේමජීව ගෝඨාභය පවසන්නේ ඔක්තෝබර් මසදී ලැබූ රුපියල් මිලියන 2000ක ඉහළම පිරිවැටුම, උග්‍ර සේවක හිඟයක් ඇතුළු දුෂ්කරතා රැසක් මධ්‍යයේ ලබා ගත් බවයි.

එමෙන්ම, ඉතාමත් නරක මූල්‍ය තත්ත්වයක්, විශාල බැංකු අයිරාවක්ද සමඟ මිල්කෝ ආයතනයේ සභාපතිධුරය තමන් භාර ගන්නා විට කිරි ගොවීන්ට ආයතනය විසින් මුදල් ගෙවිය යුතු දිනයට වඩා සති දෙකක කාලයක් ඉක්මගොස් ගෙවීම් කරමින් තිබූ බවද මිල්කෝ ආයතනයේ වත්මන් සභාපතිවරයා පවසා තිබේ.

මෙම ආයතනයේ අභ්‍යන්තර විගණන අංශය වසර ගණනාවක් පුරා අක්‍රියව තිබූ බවත් ඒ හේතුවෙන් ආයතනයේ ගිණුම් නිසිලෙස පරික්ෂාවීමක්, නිසි විගණනයක් සිදු වී නොමැති බව ද ඔහු පෙන්වා ඇත.

මේ දුෂ්කරතාවන් ජයගෙන මිල්කෝ ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීමට තමන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය කටයුතු යොදා ඇති බවත් මිල්කෝ නිෂ්පාදන රටපුරා වෙසෙන පාරිභෝගිකයන්ට අවශ්‍ය ප්‍රමාණයට ලබා දීමට සැලසුම් කර ඇති බවත් සභාපතිවරයා තවදුරටත් අවධාරණය කරයි.