පරිසර අමාත්‍යංශය යටතේ ඇති භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයට අනුබද්ධ ටෙක්නිකල් සර්විසස් සමාගමේ සේවය කරමින් මූල්‍ය වංචා රැසක් සිදු කිරීම හේතුවෙන් සේවයෙන් පහ කළ තාක්ෂණ නිලධාරියෙකු, කෙහෙළිය රඹුක්වැල්ල පරිසර අමාත්‍ය ධුරය භාරගැනීමෙන් පසු නැවත සේවයට බඳවාගෙන ඇතැයි පරිසර අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.
අදාළ නිළධාරියා දූෂණ වංචා රැසක් සම්බන්ධයෙන් චෝදනාවන්ට ලක් වී වැඩ තහනමට ලක්කර තිබූ අයෙක් බවයි සඳහන් වන්නේ.
කෙසේ වෙතත් කෙහෙළිය රඹුක්වැල්ල පරිසර අමාත්‍යවරයා ලෙස පත් වී සතියක් වැනි කාලයක් තුළ අදාළ නිලධාරියාව විධිමත් පරීක්ෂණයකින් තොරව නැවත සේවයට බඳවාගෙන තිබෙන බවත් එම නිලධාරියා අමාත්‍යවරයාට දුරකථනයෙන් අමතා සෑම මැතිවරණයකදීම ඔහු අමාත්‍යවරයාට උදව් කරන බවත් ඔහු අමාත්‍යවරයාගේ ළඟම දේශපාලන හිතවතෙක් වන නිසාත් වහාම සේවයට බඳවා ගන්නා ලෙස බලපෑම් කර ඇති බවත් අනාවරණය වෙයි.
ඒ අනුව අදාළ නිලධාරියාගේ පෞද්ගලික ලිපි ගොනුවේ ගරු විෂය භාර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා දුරකථනයෙන් සිදුකරන ලද ඉල්ලීම අනුව නැවත සේවයට බඳවා ගනිමි යනුවෙන් සටහනක් තබා ඔහුව සේවයට බඳවාගෙන ඇති බවත් වැඩ තහනම් කර තිබූ කාලයට අදාළව හිඟ වැටුප් ගෙවීමටද කටයුතු කර ඇති බවත් පරිසර අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
මීට අමතරව අදාළ වැඩතහනමට ලක් වූ නිලධාරියාට එරෙහිව ඍජු අල්ලස් ගැනීමක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ පැමිණිල්ලක් පවතින අතර ලොරි රථ හිමිකරුවෙකුට මරණ තර්ජනය කිරීමක් සම්බන්ධයෙන්ද පැමිණිල්ලක් ඇතැයි සඳහන්.
මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් නොගන්නේ නම් ඉදිරියේදී භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ සභාපතිවරයාට, අමාත්‍යංශ ලේකම්ට, විෂයභාර අමාත්‍යවරයාට මෙන්ම ජනාධිපතිවරයාට සියලු තොරතුරු සමඟින් පැමිණිලි කරන බව අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් දැනුම් දෙයි.