මැතිවරණ කොමිෂන් සභාව යළි මෙම සතියේ රැස්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.
ඒ අනුව එළැඹෙන බ්‍රහස්පතින්දා උදෑසන 10ට මැතිවරණ කොමිසම රැස්වීමට නියමිත අතර මහ මැතිවරණය අවසන් වීමෙන් පසු මැතිවරණ කොමිෂන් සභාව රැස්වන පළමු අවස්ථාව මෙය යි.
විශේෂයෙන් මෙහිදී පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බවයි වාර්තා වේ.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ලබන වසරේ ජනවාරි මාසයේ දී පැවැත්වීමට කටයුතු කරන බව අමාත්‍ය විජිත හේරත් පසුගිය දා මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව සඳහන් කළ අතර එමෙන්ම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් අධිකරණය විසින් තීන්දුවක් ලබා දීම හේතුවෙන් මෙම මැතිවරණය කඩිනමින් පැවැත්වීම කෙරෙහි මැතිවරණ කොමිෂන් සභාවේ ද අවධානය යොමුව ඇත.
මැතිවරණය පැවැත්වීමට මේ දක්වාත් මුදල් වෙන් කර නොමැති අතර ඒ සම්බන්ධයෙන් ද සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීමට නියමිතව ඇත.
මේ සඳහා මුදල් වෙන්කිරීම ආණ්ඩුව විසින් දෙසැම්බර් මාසයේ දී ඉදිරිපත් කිරීමට නියමිත අතුරු සම්මත ගිණුම මඟින් සිදුකිරීමට නියමිත බවද වාර්තා වේ.