බස් රථයේ රියදුරු සහ සහායකයින් පිරිසක් එක්ව බස් රථයේ ගමන් ගත් තරුණයෙකුට පහරදීමේ සිද්ධියක් සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වේ.
පහරදිමෙන් තුවාල ලැබූ පුද්ගලයා විසින් ලියා ඇති ෆේස්බුක් සටහනෙහි දැක්වෙන ආකාරයට පහරදීමට හේතුව වනුයේ බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයාගෙ ක්‍රියාවන් ප්‍රශ්න කිරිම සහ නීති කඩකිරිම් මෙන්ම මගීන්ට සිදු වු අසාධාරණයන්ට එරෙහිව කොන්දොස්තරවරයා ප්‍රශ්න කිරිමයි.
කොට්ටාව – ගල්කිස්ස 255 මාර්ග අංකය යටතේ ධාවනය වන ND3993 නැමැති බස් රථයෙ රියදුරු පැය බාගයකට ආසන්න කාලයක් බස් රථය සෙනඟ රැස් කිරීම සඳහා පිළියන්දල නගරයේ නවතා තැබීම නිසා මගීන් මේ සම්බන්ධයෙන් කොන්දොස්තරගෙන් විමසා ඇත. එම අවස්ථාවේදී ඔහු “යන්න හදිසි උන් බැහැලා පලයං” යැයි පවසා ඇති අතර එහිදී ඉහත තරුණයා කොන්දොස්තර අසළට ගොස් දැනටමත් ඔහු විසින් සිදුකර ඇති සියළු වරදවල් කොන්දොස්තරවරයාට පහදා දීමට කටයුතු කර ඇත.
ෆේස්බුක් සටහනෙහි දැක්වෙන ආකාරයට ඔහු එහිදී බස් රථයෙ කොන්දොස්තරවයාට බස් රථය ඉතා දිගු වේලාවක් නවතා ගෙන සිටීම, කිසිඳු මගියෙකුට වලංගු ප්‍රවේශ පත්‍රයක් නිකුත් නොකිරීම, බස් රථයේ වැරදි සම්බන්ධයෙන් පැමිණිලි කළ යුතු හදිසි ඇමතුම් අංකය සහ නීති රීති ඇතුළත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියෙන් නිකුත් කර ඇති ස්ටිකරය බස් රථයේ අලවා නොතිබීම, රියදුරුගේ නම, කොන්දොස්තරගේ නම සහ ලියාපදිංචි අංක ඇතුළත් දැන්වීම අළවා නොතිබීම, බස් රථයේ අංකය රථය ඇතුළත සියල්ලන්ටම පෙනෙන සේ ප්‍රදර්ශනය නොකිරීම, බස් රථයේ ගාස්තු චක්‍රය ප්‍රදර්ශනය නොකිරීම, මගීන් අපහසුතාවයට පත්කිරීම හා තර්ජනය කිරීම ආදි වරදවල් පෙන්වා දීමට කටයුතු කර ඇත. තවද තමන් විසින් මගී ප්‍රවාහන අධිකාරියේ පැමිණිලි කරන බවටද පවසා ඇත.
එහිදී නැවත ගමන් ගත් බස් රථය කටුබැද්ද හංදියෙන් නවතා සියළු මගීන් බස්වා බස් රථයේ කොන්දොස්තරව ප්‍රශ්න කළ මඟීන් කවුරුන්දැයි සොයන්නට පටන් ගෙන ඇති අතර එයට බස් රථයේ රියදුරු, තවත් සහායකයෙක් සහ ඔහුගේම තවත් බසයක (ND5997) රියදුරු සහ කොන්දොස්තර සමඟ සහායට තවත් පිරිසක් ද සිට ඇත. එහිදී පිරිස වට වී මෙම තරුණයාට දරුණු ලෙස පහර දී ඇත.
පසුව එතන සිටි පිරිසෙන් එක් අයෙක් “මේ බස් දෙකම මගේ. උඹට පුළුවන් ඕන තැනක ගිහින් පැමිණිලි දාලා පුලුවන් දෙයක් කරපං..” යැයි පවසා ඇති අතර තවත් අයෙක් මේ ගැන පැමිණිලි කළහොත් මරණ බවටද ඔහුට තර්ජනය කර ඇත.
කෙසේ නමුත් ඉන් අනතුරුව සිද්ධියෙන් පහර කෑ පුද්ගලයා ගල්කිස්ස පොලීසියේ මේ පිලිබඳ පැමිණිලි කිරිමට කටයුතු කර ඇත. ඉන් පසු ඔහු මේ වනවිට කළුබෝවිල ශික්ෂණ රෝහලේ නැවතී ප්‍රතිකාර ගනිමින් සිටින බව වාර්තා වේ.