අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබූ හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේමසිංහගේ V8 රථය නිදහස් කරන ලෙස නියෝගයක් නිකුත් කර ඇත.

කොටුව මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (25) නියෝග කළේ රුපියල් මිලියන 100ක බැඳුම්කරයක් මත අදාල රථය නිදහස් කරන ලෙසයි.

එමෙන්ම වාහනය විකිණීම, වෙනස් කිරීම, අන්සතු කිරීම තහනම් කරමින්, දැනුම් දෙන අවස්ථා වලදී වාහනය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය තවදුරටත් නියෝග කර ඇත.

මෙම වාහනය එකලස් කරපු වාහනයක් බවට කිසිදු සාක්ෂියක් අධිකරණය හමුවේ ගොනුකර නොමැති අතර එම වාහනය රේගුවෙන් පැන්නූ වාහනයක් නොවන බව සුජීව සේනසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධීකරණය හමුවේ පවසා ඇත.

ඔවුන් තවදුරටත් අධිකරණයට පවසා ඇත්තේ එය මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකළ වාහනයක් නොවන අතර රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාවට අනුව අදාළ වාහනය කිසිදු එකලස් කිරීමක් සිදුකර නැති බවට ඔප්පු වී ඇති බවයි.

ඒ අනුව, මෙම ප්‍රශ්නගත වාහනයට අදාළ සිද්ධිය සම්බන්දයෙන් මෙතෙක් සිය සේවාදායකයා අධිකරණයට සහාය දැක්වූ අතර අදාළ වාහනය එහි ලියාපදිංචි අයිතිකරු වන සුජීව සේනසිංහ හට මුදාහරින ලෙස සුජීව සේනසිංහ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ වරුන් වන මෛත්‍රී ගුණරත්න, ෆර්හාන් කාසීම් ඇතුළු නීතිඥ මඩුල්ල අධිකරණයෙන් ඉල්ලා ඇත.

එම ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය, රුපියල් මිලියන 100ක බැඳුම්කරයක් මහත අදාළ V8 රථය නිදහස් කරන ලෙස නියෝග කර තිබේ.

හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහට අයත් සුඛෝපභෝගී ජීප් රථය එකලස් කළ එකක් බවට ලද තොරතුරක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබුණු අතර ඒ අනුව රථය වැඩිදුර විමර්ශන සඳහා රජයේ රසපරීක්ෂකවරයා වෙත යොමුකෙරුණි.

හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහට අයත් ටොයෝටා ලෑන්ඩ් කෘෘසර් V8 වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථය නීතිවිරෝධීව එකලස් කළ එකක් බවට වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයට ලැබුණු තොරතුරක් මත මෙම පරීක්ෂණ ආරම්භ කිරීමට පියවර ගත්තේය.

කෙසේවෙතත්, මෙම තොරතුරු අනුව සේනසිංහගේ නිවස පරීක්ෂා කෙරුණ ද සැකසහිත රථයක් එහිදී හමු වි නොමැති අතර පසුව ඒ පිළිබඳ විමර්ශන වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශයට යොමුකර තිබේ.

අනතුරුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසමක් ගොනුකරමින් විමර්ශන නිලධාරීන් සඳහන් කළේ, සේනසිංහ මහතාගේ නිවසේ එකලස් කරන ලද බවට පැවසෙන මෝටර් රථයක් ඇති බවට තොරතුරක් ලැබුණු බවයි.

එම ජීප් රථය 2010දී මෙරටට ගෙන්වා 2022 වසරේදී ලියාපදිංචි කර ඇති බවත් විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ හෙළි කරනු ලැබ ඇත.

ඒ අනුව, පසුගිය නොවැම්බර් 08 වෙනිදා සුජීව සේනසිංහගේ කොල්ලුපිටිය නිවසට පැමිණි විමර්ශන නිලධාරීන් ප්‍රශ්නගත V8 රථය රැගෙන ගොස් ඇත.

පසුගිය 11 වෙනි දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ අදාළ ජීප් රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.