ඉකුත්දා මිරිහාන ප්‍රදේශයේ නිවසක තිබී නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද වාහනයක් සොයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී බවට තීන්දු කරන ලෙස ඉල්ලා හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද අභියාචනාදීකරණය වෙතින් ඉල්ලා අස්කර ගෙන ඇති බව වාර්තා වේ.

මෙම පෙත්සම අද (09) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න ඉදිරියේ කැඳවනු ලැබූ අතර එහිදී ලොහාන් රත්වත්තේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් අධිකරණයට දන්වා සිටියේ, තම සේවාදායකයාට මේ වන විට ඇප ලැබී ඇති බවයි.

ඒ අනුව, මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට අපේක්ෂා නොකරන බවත් එය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා ඇත.

එම ඉල්ලීම පිළිගත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙමින් එය නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කර ඇත.