ශ්‍රී ලංකාවේ රැකවරණය පතා මියන්මාරයේ සිට පැමිණි රෝහින්ග්‍යා සරණාගතයින් කණ්ඩායම බලහත්කාරයෙන් ආපසු යැවීමේ තීරණය නැවත සලකා බලන ලෙස සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලීමක් කොට තිබෙනවා.
ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමිනුයි ඔහු මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ.
එමෙන්ම ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මානුෂීය මූලධර්මවලට අනුකූල විය යුතු බවත්, තම මව්බිමේ හිංසා පීඩාවලින් පලා ගිය මෙම පුද්ගලයින්ගේ යහපැවැත්ම සලකා බැලිය යුතු බවත්, ඔහු එහි සඳහන් කර තිබෙනවා.
මෙම සරණාගතයින් ශ්‍රී ලංකාවේ රැඳී සිටින අතරතුර ඔවුන්ට ගෞරවයෙන් සලකන ලෙසත්, ඔවුන්ට සැලකිය යුත්තේ සිරකරුවන් ලෙස නොව අපගේ අනුකම්පාව සහ සහයෝගය අවශ්‍ය පුද්ගලයින් ලෙසත්, ඔහු එම ලිපියෙහි සඳහන් කර ඇත්තේ.
තවද, මෙම සරණාගතයින්ට ආරක්ෂිත යැයි හැඟුණු පසු, ඔවුන්ගේ කැමැත්ත ඇතිව නැවත පදිංචියට සුදුසු රටක් හඳුනා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග සහයෝගයෙන් කටයුතු කිරීම සුදුසු බවයි ඔහු මෙම ලිපිය මගින් වැඩිදුරටත් දක්වා ඇත්තේ.