ඔස්කාර් සම්මානලාභී ඉන්දියානු සංගීත අධ්‍යක්ෂක වරයෙකු වන A.R. රහ්මාන් විසින් ඉන්දියානු ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයෙන් රුපියල් කෝටි 10ක වන්දියක් ඉල්ලා තිබෙනවා. ඒ, එම සංගමය විසින් ඔහුගේ කීර්ති නාමයට හානි සිදුකළ බව පවසමින්.

2018 වසරේ ඉන්දියානු ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය වෙනුවෙන් සංගීත සංදර්ශනයක් පැවැත්වීම සඳහා ඉන්දියානු රුපියල් ලක්ෂ 29ක් ලබාගෙන එම කටයුත්ත පැහැර හැර ඇති බවටත් මුදල්ද නැවත ලබා නොදුන් බවටත් චෝදනා කරමින් එම සංගමය විසින් පැමිණිල්ලක් ගොනුකර තිබුණා. නමුත් එම සියළු චෝදනා ප්‍රතික්ෂේප කළ A.R. රහ්මාන් එලෙස කිසිඳු ගිවිසුමකට තමා එළඹී නොමැති අතර කිසිඳු මුදලක් ලබාගෙන නොමැති බව පවසා තිබෙනවා. ඒ අනුව, මෙම අභූත චෝදනා හේතුවෙන් සිය කීර්ති නාමයට සිදුවූ හානිය වෙනුවෙන් ඉන්දියානු රුපියල් කෝටි 10ක වන්දියක් දින 15ක් තුළ ගෙවන ලෙසත්, ප්‍රසිද්ධියේ සමාව අ‍යදින ලෙසත් නීතී මාර්ගයෙන් අදාළ සංගමයට දන්වා ඇති බවයි වාර්තා වන්නේ.

නමුත් මේ සම්බන්ධයෙන් ඉන්දියානු ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය කිසිඳු නිවේදනයක් මෙතෙක් නිකුත් කර නැහැ.