සියවස් ගණනාවක් මුළුල්ලේ භාරතීය ජනතාවගේ බුහුමනට පාත්‍ර වූ ජනප්‍රිය වීර කාව්‍යයක් වන වාල්මිකී විසින් රචිත රාමායණය පදනම් කරගනිමින් නිර්මාණය කරන ලද Adipurush චිත්‍රපටය පසුගිය 16 වන සිකුරාදා ලොව පුරා තිරගත කිරීම ආරම්භ කළා. මනෝජ් මුන්ටාෂීර් සහ ඕම් රවුට් විසින් පිටපත රචනා කර, ඕම් රවුට් විසින් අධ්‍යක්ෂණය කරන ලද Adipurush චිත්‍රපටය, ඉන්දියානු රුපියල් කෝටි 500ක අති දැවැන්ත නිෂ්පාදනයක්. මෙය ඉන්දියානු චිත්‍රපටයක් සදහා දරන ලද දෙවැනි වැඩිම පිරිවැය ලෙස වාර්තා අතරට එක්වූයේ 2022 තිරගත වූ RRR චිත්‍රපටයට පමණක් පසුපසින් සිටිමින්. ප්‍රභාස් (Raghav), සායිෆ් අලි ඛාන් (Lankesh), ක්‍රිටි සැනන් (Janaki) යන සුපිරි බොලිවුඩ් ශිල්පීන් රංගනයෙන් දායක වන මෙය, හින්දි හා තෙළිඟු යන භාෂා ද්විත්වයෙන්ම රූගත කරන ලද අතර, ඊට අමතරව දමිළ, කන්නඩ හා මලයාලම් භාෂාවන්ගෙන් ද හඬ කැවීම් සිදුකර තිරගත කෙරෙනවා.

2022 ඔක්තෝම්බර් 02 දින මෙම චිත්‍රපටයේ ටීසරය නිකුත් කළ අවස්ථාවේ සිට චිත්‍රපටය වෙත බොහෝ ප්‍රේක්ෂකයින්ගෙන් හිමි වූයේ සුබවාදී ප්‍රතිචාරයක් නම් නොවේ. විශේෂයෙන් හින්දු භක්තිකයින් දේවත්වයෙන් අදහන රාම කුමරුගේ චරිතය නිරූපණය කිරීම සඳහා ප්‍රභාස් වැනි නළුවකු තෝරාගැනීම පිළිබඳව රසිකයින් අප්‍රසාදය පළ කර සිටි අතර, රාවණ රජුගේ චරිතය නිරූපණය සඳහා සායිෆ් අලි ඛාන් තෝරාගැනීම පිළිබඳවද සෘණාත්මක ප්‍රතිචාර ලබාදී තිබුණා. එමෙන්ම චිත්‍රපටයේ දෘශ්‍ය ප්‍රයෝග භාවිතයද සමාජ මාධ්‍ය තුළ හාස්‍යයට ලක්වනු දකින්නට ලැබුණු අතර, චිත්‍රපටයේ බොහෝ කොටස් විදෙස් චිත්‍රපටවලින් අමු අමුවේ පිටපත් කර ඇති බවටද රසිකයින් චෝදනා කර සිටියා. මෙවැනි අනපේක්ෂිත ප්‍රේක්ෂක ප්‍රතිචාර නිසා විශේෂ දෘශ්‍ය ප්‍රයෝග පිළිබඳ නැවත අවධානය යොමු කිරීමට නිශ්පාදකයින්ට සිදු වූ අතර, දෘශ්‍ය ප්‍රයෝග, වර්ණ සංකලනයන් හි ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා (Visual effects, CGI, Lighting and Color grading) සඳහා තවත් රුපියල් කෝටි 100ක් පමණ වැය කිරීමට සිදුවූ බවයි වාර්තා වුණේ.

2023 මැයි 09 දින චිත්‍රපටයේ ට්‍රේලරය නිල වශයෙන් එළි දැක්වූ අතර, චිත්‍රපටයේ ගීත ද අන්තර්ජාලය වෙත මුදා හැරුණා. Adipurush චිත්‍රපටයේ සංගීත නිර්මාණය කර තිබුණේ බොලිවුඩයේ සුප්‍රකට සංගිතඥයන් දෙපලක් වන අජේ-අතුල් සුසංයෝගය විසින්. එම ගීත රසිකයින් ආදරයෙන් වැළඳගත් බව දක්නට ලැබුණු අතර, විචාරකයින්ගේ පැසසුමට ද ලක්වීම නිශ්පාදකයින්හට අස්වැසිල්ලක් වුණා. කෙසේ වෙතත් චරිත සඳහා නළු නිලියන් තෝරා ගැනීමත් දෘෂ්‍ය ප්‍රයෝග භාවිතයේ දුර්වලතාවයත් දිගින් දිගටම කතාබහට ලක් වූයේ චිත්‍රපටයේ සාර්ථකත්වය පිළිබඳව දෙගිඩියාවක් ගොඩනගමින්.

මෙම පසුබිම තුළ, චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතු සිදු කිරීමේදී නිශ්පාදකයින් වැඩි ආගමික නැඹුරුවක් සහිතව එම කටයුතු සිදු කරනු දකින්නට ලැබුණා. චිත්‍රපටය තිරගත කරන සෑම සිනමා ශාලාවකම සෑම දර්ශන වාරයක් සඳහාම හනුමාන් දෙවියන් සඳහා සරසන ලද ආසනයක් වෙන්කිරීමට තීරණය කිරීමද මේ අතර කැපී පෙණුනා. ඇතැම් සිනමා ශාලාවල මෙම හනුමාන් අසුනට යාබද අසුන සාමාන්‍ය මුදලට වඩා දෙගුණයක මිලට අලෙවි කිරීමට කටයුතු කර තිබුණේ එය නිශ්පාදන සමාගමේ නියමයක් ලෙස ප්‍රචාරය කරමින්. නමුත්, එවැනි මිල නියම කිරීමක් සිදු කර නොමැති බවත් ව්‍යාජ ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙසත් රසිකයින්ගෙන් ඉල්ලා සිටිමින් T Series සමාගම මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කර තිබුණා.

කෙසේ වෙතත්, ඉන්දියානු රුපියල් කෝටි 140 ක් පළමු දින ආදායම ලෙස සටහන් කරමින් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට Adipurush සමත් වුණේ ‍2023 වසරේ බොලිවුඩයේ දෙවැනි හොඳම පළමු දින ආදායම වාර්තා කරමින්. ආගමික හා සංස්කෘතික බැඳීමත්, ප්‍රභාස්ගේ තරු ගුණයත්, PAN India චිත්‍රපටයක් ලෙස නිකුත් වීමත් යන කරුණු හේතුවෙන් ‍ආදායම අතින් සාර්ථකත්වයක් ලැබුවද, චිත්‍රපටයේ තිර රචනය, දෙබස් සහ අධ්‍යක්ෂණය පිළිබඳව සෑහීමට පත්විය නොහැකි බවයි විචාරකයින් නම් පවසන්නේ. චිත්‍රපටය සඳහා ලැබී ඇති දෙස් විදෙස් ප්‍රතිචාර දෙස බැලීමේදී ද ඒ බව තහවුරු වනවා. (Rotten tomatoes 10%, IMDB 4.2, NDTV 1.5/5, Times of India 3/5)

මේ අතර, ක්‍රිටී සැනන් නිරූපණය කරන, සීතා දේවියගේ (Janaki) චරිතයේ දෙබසක් හේතුවෙන් මතු වූ මතභේදාත්මක තත්වයක් නිසා චිත්‍රපටය නේපාලයේ ප්‍රදර්ශනය අත්හිටුවා තිබුණා. එහිදී සීතාව “භාරත දියණිය” (Daughter of India) ලෙස හඳුන්වා දී තිබූ අතර, නේපාල බලධරයින් පෙන්වා දී තිබුනේ වෛදික ග්‍රන්ථවලට අනුව ඇය “මිථිලාවේ” උපන් බවත්, එය මේවන විට නේපාලයේ ජනක්පුර් ප්‍රදේශයට අයත්වන බවයි. නේපාලයේ කත්මණ්ඩු අගනුවර නගරාධිපති, මින් ඉදිරියට කිසිඳු ඉන්දියානු චිත්‍රපටයක් කත්මණ්ඩු නුවර ප්‍රදර්ශනය නොකළ යුතු බවට නිවේදනයක්ද නිකුත් කළා. පසුව, නිශ්පාදකයින් විසින් එම දෙබස වෙනස් කිරීමට පියවර ගෙන තිබූ බවද වාර්තා වුණා. එමෙන්ම, Akhil Bharatiya Hindu Mahasabha පක්ෂය විසින් මෙහි නිශ්පාදකයින්ට හා ප්‍රධාන නළු නිළියන්ට විරුද්ධව උත්තර් ප්‍රදේශ් හි “හස්රත්ගන්ජ්” පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ, චිත්‍රපටය සඳහා නොමග යවන සුළු ඇඳුම් පැළඳුම්, දෙබස් හා චරිත යොදා ගැනීම මගින් හිතාමතාම හින්දු දේව ප්‍රතිරූපයන්ට හානිකිරීමේ වෑයමක් සිදුකර ඇති බව පවසමින්. මෙය රාමායණය නැමති මහා වීර කාව්‍යයට මෙන්ම හින්දු ධර්මයටද කරන ද බරපතල අගෞරවයක් බව පවසමින් උත්තර් ප්‍රදේශ්, මහාරාෂ්ට්‍ර සහ දිල්ලි යන ප්‍රදේශ ඇතුළුව තවදුරටත් රට පුරා විරෝධතා මතුවෙමින් පවතින අතර, මේ හේතුවෙන් චිත්‍රපටයේ දෙබස් රචනා කළ මනෝජ් මුන්ටාෂීර් සිදු කළ ඉල්ලීමකට අනුව, ඔහු වෙත පොලිස් ආරක්ෂාව ලබා දීමට මුම්බායි පොලීසියට සිදු වුණා.

Adipurush සිනමා පටයට එරෙහිව දස දෙසින් නැගෙන විරෝධතා සහ සෘණාත්මක ප්‍රතිචාර එහි සාර්ථකත්වයට ඉතා බැරූරැම් ලෙස බලපෑම් එල්ලකර ඇති බව නම් පැහැදිලියි. පළමු දින 03 තුළ පමණක් ලොව පුරා ඉන්දියානු රුපියල් කෝටි 340ක ආදායමක් ලබාගත් චිත්‍රපටය සඳුදා දිනයේ දේශීයව උපයා තිබුණේ ඉන්දියානු රුපියල් කෝටි 20ක අදායමක් පමණයි.

 

-උමේෂ් ද සිල්වා-