පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරග 03කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවැනි තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 300ක් රැස් කළේය. එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ රහමනුල්ලා ගුර්බාස් ලකුණු 151ක් සහ ඊබ්‍රහිම් සද්‍රාන් ලකුණු 80ක් රැස් කළහ. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 227ක විශිෂ්ට සබඳතාවක් පැවැත්වීය.

පන්දු යැවීමේදී පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් ශහීන් අෆ්රිඩි කඩුලු 02ක් බිඳහෙළීය.

අනතුරුව ලකුණු 301ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තාන කණ්ඩායම පන්දුවර 49.5ක් අවසානයේ කඩුලු 09ක් දැවි තබියදී තරගයේ ජය වාර්තා කළේය. එහිදී ඉමාම් උල් හක් ලකුණු 91ක් සහ බාබර් අසාම් ලකුණු 53ක් රැස් කළහ. පාකිස්තානයට තරගයේ අවසන් පන්දු 02 තුළ ලකුණු 03ක් ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබූ අතර, එහිදී අවසන් කඩුල්ල වෙනුවෙන් පිටියේ රැඳී සිටි නසීම් ශා 49.5 පන්දුවේදී 04 පහරක් එල්ල කරමින් පාකිස්තානයට ජයග්‍රහණය ගෙන දුන්නේය.

පන්දු යැවීමේදී ෆසාල්හක් ෆාරූකි කඩුලු 03ක් සහ මොහොමඩ් නබි කඩුලු 02ක් බිඳහෙළුහ. දෙරට අතර පැවැත්වෙන තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය හෙට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.