“O O Jaane Jaana… Dhoondhe Tujhe Deewana….” මුහුදු වෙරළක ඉදි කළ වේදිකාවක් මත සිට, ගිටාරයක් වාදනය කරමින්, බොලිවුඩ් රසිකයින්ගේ හදවත් තුළ සදා ජිවමාන ව පවතින ඉහත ගීතය ගැයූ දේහධාරී කඩවසම් තරුණයා ඔබට මතකද? දඟකාර  පෙම්වතාගේ භූමිකාවෙන් සිනමාවට පිවිස විවිධ චරිත ඔස්සේ බොලිවුඩය දිග්විජය කළ “සල්මාන් සලීම් අබ්දුල් රාෂිඩ් ඛාන්” නොඑසේ නම් සල්මාන් ඛාන් නම් වූ ඔහු පසුගියදා, සිය සිනමා ජීවිතයේ 35වන සංවත්සරය සමරනු ලැබුවා.

සුප්‍රකට සිනමා නළුවකු වන සලීම් ඛාන්ගේ වැඩිමහල් පුත්‍රයා ලෙස 1965 දී උපත ලැබූ සල්මාන් සිනමාවට පිවිසෙන්නේ, 1988 වසරේ අගෝස්තු 22  තිරගත කිරීම ආරම්භ කරන ලද Biwi Ho Toh Aisi චිත්‍රපටයෙන්. Maine Pyaar Kiya (1989) චිත්‍රපටයේ මුල් වරට  ප්‍රධාන චරිතයක් නිරූපණය කරන ඔහු ඉන් පසුව රඟපෑ Saajan (1991), Hum Apke Hain Kaun (1994), Karan Arjun (1995), Judwaa (1997), Pyaar Kiya Toh Darna Kya (1998), Biwi No 1 (1999) වැනි චිත්‍රපට අති සාර්ථකව තිරගත වුණා. කරන් ජෝහර් අධ්‍යක්ෂණය කළ Kuch Kuch Hotha Hai (1998) චිත්‍රපටය සඳහා ඉදිරිපත් කරන ලද ගරු රංගනය වෙනුවෙන් හොඳම සහාය නළුවාට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානය දිනා ගැනීමටද සල්මාන් සමත් වූ අතර, එතෙක් තිරයේ දඟකාර පෙම්වතාගේ චරිතයට සීමා වී සිටි සල්මාන්ගේ රංගන හැකියාව ඉතා ප්‍රභල ලෙස ඉස්මතු කළ චිත්‍රපටය ලෙස Tere Naam (2003) චිත්‍රපටය හඳුන්වා දිය හැකියි. මෑතකදී වියෝ වූ සතිෂ් කෞෂික්ගේ අධ්‍යක්ෂණයක් වූ එම චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් චිත්‍රපට උළෙල කිහිපයක දීම සල්මාන් හොඳම නළුවාට හිමි සම්මානයට නිර්දේශ වූ අතර, මේ දක්වාම සල්මාන්ගේ හොඳම චරිත නිරූපණය ලෙස විචාරකයින් හඳුන්වා දෙන්නේ ද Tere Naam හි “රාධේ මෝහන්” චරිතයයි.

Mujse Shaadi Karogi (2004), No Entry (2005) වැනි ප්‍රහසන චිත්‍රපට කිහිපයකම සාර්ථකව රංගනයේ යෙදුණු සල්මාන්, කැපී පෙනන ලෙස ක්‍රියාදාම වීරයෙකු (Action Hero) වශයෙන් රීදී තිරයේ ඉස්මතු වූය් ප්‍රභූ දේවා අධ්‍යක්ෂණය කළ Wanted (2009) චිත්‍රපටයෙන්. සිය සොහොයුරු අර්බාස් ඛාන් විසින් නිෂ්පාදනය කළ  Dabangg (2010)  චිත්‍රපටය සල්මාන්ගේ සිනමා දිවියට වාසනාව කැන්දූ බව කියන්නට පුළුවන්. එහිදී ඔහු විසින් රඟ පෑ “චුල්බුල් පාණ්ඩේ” නම් නිර්භීත පොලිස් නිධාරියාගේ චරිතය රසිකයින් ඉතා ආදරයෙන් වැළඳගත්තා පමණක් නොවෙයි, Star Dust සහ Star Screen සම්මාන උළෙලහි හොඳම නළුවාට හිමි සම්මානයන්ද හිමි කර දුන්නා. එතෙකින්ද නොනැවතුණු Dabangg ඉන්දියානු රුපියල් කෝටි 100 ඉක්මවා ආදායම ලද සල්මාන්ගේ ප්‍රථම චිත්‍රපටය බවටද පත් වුණා. මේ වන විට බොලිවුඩ් සිනමාවේ ඔත්තුකරුවන්ගේ විශ්වයකට (Spy universe) හිමිකම් කියන YRF සමාගම Ek Tha Tiger (2012)  චිත්‍රපටයෙන් සිනමාවට හඳුන්වා දුන් “Tiger” නම් පළමු රහස් ඔත්තු කරු (Spy) වන්නේ ද සල්මාන්.

2015 කියන්නේ සල්මාන්ගේ සිනමා දිවියේ ඉතා සුවිශේෂී වර්ෂයක්. ඒ, එම වසර තුළ තිරගත වූ Bhajrangi Bhaijaan  සහ Prem Ratan Dhan Payo චිත්‍රපට එක්ව ඉන්දියානු රුපියල් බිලියන 5ක වාර්තාගත ආදායමක් ලබා ගැනීම හේතුවෙන්. වසරක් තුළ එවැනි ආදායමක් ලබා ගැනීමට සමත්වූ එකම බොලිවුඩ් සිනමා තාරකාව වන්නේ ද සල්මාන් ඛාන්. එවකට බොලිවුඩ් චිත්‍රපටයක් ලද ඉහළම ආදායම වාර්තා කිරීමට Bhajrangi Bhaijaan සමත් වූයේ එහි සමස්ත ආදායම ඉන්දියානු රුපියල් බිලියන 6ක් ලෙස සටහන් කරමින්. මේ වන විටත් ඉහළම ආදායම ලැබූ බොලිවුඩ් චිත්‍රපට ලැයිස්තුවේ මුල් චිත්‍රපට 10 අතුරින් 3ක්ම මෙම සුපිරි නළුවා විසින් ප්‍රධාන චරිත නිරූපණය කළ චිත්‍රපට විසින් අත්පත් කරගෙන තිබීම විශේෂයි. Bhajrangi Bhaijaan (2015), Sultan (2016), Tiger Zinda Hai (2017) යන චිත්‍රපට පිළිවෙලින් එහි 3,6 සහ 10 ස්ථාන වල පසුවනවා.  එමෙන්ම, සල්මාන් රඟපෑ චිත්‍රපට 3ක් පිට පිටම ඉන්දියානු රුපියල් බිලියන 2 ඉක්ම වූ ආදායමක් ලබා ගැනීමට සමත් වූ අතර එය ද බොලිවුඩ් සිනමාවේ වාර්තාවක් වනවා.

තිරයේ අවංක ප්‍රේමවන්තයාගේ චරිතය නිරූපණය කළද, සල්මාන් සැබෑ ජීවිතයේ අසාර්ථක පෙම්වතෙක් ලෙසයි නම් දරා සිටින්නේ. තවමත් අවිවාහක 57 හැවිරිදි මෙම සුපිරි තාරකාව, ලෝක රූ රැජිණ කිරුළ දැරූ අයිශ්වර්යා රායි, සුපිරි නිළි කත්‍රිනා කායිෆ්, හිටපු ඉන්දියානු රූ රැජිනක වූ සංගීතා බිජ්ලානි සහ පාකිස්ථානු නිළි සෝමි අලි සමඟ මෙන්ම රොමේනියානු ජාතික නිළි ලූලියා වොන්ටර් සමඟද පෙම් සබඳතා පැවැත් වූ නමුත්, එම කිසිඳු සබඳතාවක් වැඩිකල් පවත්වාගෙන යාමට ඔහුට හැකියාව ලැබුණේ නැහැ.

එමෙන්ම, රිදී තිරයේ වීරයාගේ භූමිකාවට පණ පොවන මෙම සුපිරි නළුවා අවස්ථා කිහිපයකදීම නීති විරෝධී ක්‍රියාවන් හේතුවෙන් අත්අඩංගුවට ද පත් වී තිබෙනවා. 1998 දී ජෝද්පූර් හිදී දුර්ලබ Blackbuck  නම් මුව විශේෂයක් දඩයම් කිරීම හේතුවෙන් අත්අඩංගුවට පත් වූ සල්මාන් පසුව ඉන් නිදහස් වූයේ ඔහුට විරුද්ධව ප්‍රමාණවත් සාක්ෂි නොතිබීම හේතුවෙන්. එමෙන්ම 2002 වසරේදී බීමතින් රිය ධාවනය කර, පදික වේදිකාවේ නිදා සිටි පුද්ගලයෙකු යට කර මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන්ද අත්අඩංගුවට පත්වන සල්මාන් ඉන් නිදහස් වන්නේ ඔහුගේ රියදුරු එම වරද පිළිගැනීමත් සහ නඩුවේ ප්‍රධාන සාක්ෂිකරු වූ පොලිස් නිලධාරියා මියයාමත් හේතුවෙන් සාක්ෂි ප්‍රමාණවත් නොවීම මතයි. මෙම සියළු සිදුවීම් සල්මාන්ගේ බලය සහ මුදල් හේතුවෙන් යට ගැසුණු බවටයි චෝදනා එල්ල වුණේ.

කෙසේ වෙතත් කිසිදා නොවනස් වන රසික ප්‍රජාවක් සල්මාන් වටා සිටින බව නම් පැහැදිලියි. ඔහු රඟපාන චිත්‍රපටවලට කෙබඳු විචාරක ඇගයීමක් හිමි වුවත්, එම චිත්‍රපට ආදායම් ලැබීමෙන් අසාර්ථක වූවා නම් ඒ ඉතාමත් කලාතුරකින්. Dabangg (2010) චිත්‍රපටයෙන් පසු නිකුත් වූ චිත්‍රපට අතුරින් Antim (2021) හැර අනෙකුත් සෑම චිත්‍රපටයක්ම ඉන්දියානු රුපියල් කෝටි 100 ඉක්මවා ගිය ආදායමක් උපයා ගැනීමට සමත් වීමෙන් ම එය පැහැදිලි වනවා. රසිකයින් ඔහු වෙත පබැඳි “Bhai Jaan” (සහෝදරයා) යන නාමයට සාධාරණයක් ඉටු කරන සල්මාන් සමාජ සුබ සාධන වැඩකටයුතු රාශියක නිරත වන්නෙක්. පහසුකම් නොලබන කුඩා දරුවන් වෙත සහන සැලසීම අපේක්ෂා කර ගනිමින් 2007 දී Being Human නමින් පුණ්‍යායතනයක් ආරම්භ කරන “සහෝදරයා” එමඟින් මේ වන විට දරුවන් බොහෝ පිරිසකගේ අධ්‍යාපනය, සෞඛ්‍ය සහ වෘත්තිය පුහුණුව වෙනුවෙන් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කර තිබෙනවා.

සුප්‍රසිධ Big boss රූපවාහිනී වැඩසටහනෙහි මෙහෙයවන්නාද වන සල්මාන් පිළිබඳව මෑතකදී කතාබහට ලක් වූයේ, ශාරුක් ඛාන්ගේ Pathaan චිත්‍රපටය වෙනුවෙන් සිදුකළ ආකර්ශණීය ආරාධිත රංගනය (Cameo) හේතුවෙන්. සල්මාන් ශාරුක් එක් ව රඟපෑ Karan Arjun (1995) චිත්‍රපටයද ආවර්ජනය කළ එම දර්ශනයට හිමි වූයේ උණුසුම් ප්‍රතිචාරයක්. එම නිසාම Tiger vs Pathaan නමින් චිත්‍රපටයක් නිර්මාණය කිරීමටද සැලසුම් කර ඇති බව මේ වනවිට බොලිවුඩ් ආරංචි මාර්ග වාර්තා කරනවා. කෙසේ වෙතත් නුදුරේදීම නැවතත් සල්මාන් YRF සමාගමේ නිෂ්පාදනයක් වන Tiger චිත්‍රපට මාලාවේ තෙවැනි චිත්‍රපටයෙන් අප හමුවීමට නියමිත ව තිබෙනවා. ඒ නොවැම්බර් 10 සිට තිරගත කිරීමට නියමිත Tiger 3 චිත්‍රපටයෙන්.

මෙලෙස දශක 3කට අධික කාලයක් මුළුල්ලේ රසිකයන්ගේ ආදරය දිනාගන්නට සමත් වූ සල්මාන් ඛාන් ඔහුගේ 35 වන සිනමා සංවත්සරය වෙනුවෙන් කෙටි වීඩියෝවක් එක් කරමින් රසිකයින් හට ස්තුති කරන්නට අමතක කර තිබුණේ නැහැ. ඒ, “35 years went by like 35 days. Thank u for your love ❤” (වසර 35 ගතවුනේ හරියට දින 35ක් වගෙයි. ඔබේ ආදරයට ස්තුතියි) යන සටහන ද සමගින්.

උමේෂ් සිල්වා