පාස්කු ප්‍රහාරයට වගකිවයුතු, චෝදනාලත් පුද්ගලයින් ඉහළ පුටුවල සිටියදී ස්වාධින කොමිසමක් පත්කර channel 4 හෙළිදරව්ව පිලිබදව විමර්ශනය කල නොහැකි බවත් මිට පෙර පත්කළ ජනාධිපති කොමිෂන් සේම මෙම කොමිසමත් කිසිදු අර්ථයකින් තොර බවත් අගරදගුරු කාදිනල් හිමිපාණන් පවසා ඇත.

කළුතර ශාන්ත මරියා දේවස්ථානයේ 125වන ජුබිලි සැමරුම හා ප්‍රධාන දේව මෙහෙය පවත්වමින් උන්වහන්සේ මෙසේ පවසා තිබේ.

කාදිනල් හිමියන් වැඩිදුරටත් මේසද සදහන් කර ඇත.

‘එදා පාස්කු දින බෝම්බ ප්‍රහාරයට හසු වූ 273 දෙනා වෙනුවෙන් මා මේ දේ කිව යුතුමයි. දැන් මේ රටේ නායකයා තීරණය කරලා තියෙනවාලු මේ සම්බන්ධයෙන් වෙනම කමිටුවක් පත්කරලා චැනල් 04 නාළිකාව පෙන්නපු වැඩසටහනේ ඇති කරුණු විග්‍රහ කරන්න. මම අහන්න කැමතියි අපේ රටේ නායකයාගෙන්, එදා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කරලා මේ නායකයාම තමයි ඒ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව පත්කළේ. ඒ තේරීම්කාරක සභාවේ වාර්තාවේ 134 වැනි පිටුවේ සඳහන් කරලා තියෙනවා මෙන්ම මේ පොලීසියේ උසස් නිලධාරියා මේ සිද්ධිය සම්බන්ධව ඉතාමත් බරපතළ වගකීමක් දරන කෙනෙක් කියලා. ඒ නිසා ඔහුව නීතිය හමුවට පැමිණවිය යුතුයි කියලා අද වෙනතුරු මොකක්ද වෙලා තියෙන්නේ. ඒ උසස් නිලධාරියා තාමත් පොලීසියේ එම තනතුරටත් වඩා උසස් තනතුරක් දරමින් ජීවත්වෙනවා. තවත් කමිටු පත් කිරීමේ තේරුම කුමක්ද? මේවා ඇස්බැන්දුම්. නායකයින්ගේ හැසිරීම ලැජ්ජා සහගතයි.’