“රොක් ඇන්ඩ් රෝල් රජු” ලෙස හැඳින්වෙන 1977 දී ජීවිතයෙන් සමුගත් ඇමරිකානු ගායක Elvis Presley, AI තාක්ෂණය සහ හොලෝග්‍රැෆික් ප්‍රක්ෂේපණ භාවිත කරමින් යළි ජීවමාන කරවීමට සූදානම් වන බව වාර්තා වනවා. මෙලෙස හිටපු සුපිරි තරුව වේදිකාව මත ජීවමාන කිරීමට සැරසෙන්නේ ලන්ඩනයේ පැවැත්වෙන ප්‍රසංගයක් සඳහායි. මෙම ප්‍රසංගය සඳහා Layered Reality සමාගම විසින් ගෝලීය අයිතිය ලබා ගෙන ඇති බව වාර්තා වන අතර, ඒ අනුව රසිකයින්ට නැවතත් Elvis Presley ජීවමාන ප්‍රමාණයෙන් දැක ගැනීමට හැකියාව ලැබෙනු ඇති.

මේ සඳහා Elvis Presleyගේ වීඩියෝ සහ ඡායාරූප දහස් ගණනක් යොදා ගෙන ඇති අතර, Layered Reality සමාගම පවසන්නේ මෙම නව අත්දැකීම රසිකයින්ට අදහාගත නොහැකි ප්‍රාසාංගික අත්දැකීමක් (Jaw dropping concert experience) වනු ඇති බවයි. Elvis Evolution ලෙස නම් කර ඇති මෙම ප්‍රසංගය ලන්ඩනයේ වේදිකාගත කිරීමෙන් අනතුරුව ලාස්වේගාස්, බර්ලින් සහ ටොකියෝ යන නගර වලද පැවැක්වීමට සංවිධායකයින් කටයුතු කරන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.