සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

ඒ අනුව දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන යටතේ සේවක අර්ථසාධක අරමුදල සතු භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රශස්තකරණයට ලක් වීම තුළින් එම අරමුදලේ සාමාජිකයින්ගේ විශ්‍රාමික ගෙවීම් සහ ප්‍රතිලාභවලට බලපෑමක් නොවන අයුරින් එකී ගෙවීම් සහ ප්‍රතිලාභ තහවුරු කිරීමේ අවශ්‍යතාව රජය විසින් හඳුනාගෙන ඇති බවද අදාළ කැබිනට් තීරණයේ දැක්වේ.

පසුගිය වසර පහක කාලය තුළ සේවක අර්ථසාධක අරමුදලෙහි සාමාජිකයින් සඳහා ගෙවනු ලැබූ වාර්ෂික පොලී ප්‍රතිලාභ ප්‍රතිශතයන් සැලකිල්ලට ගෙන 2023 – 2026 කාලය දක්වා ඉදිරි වසර හතරක (04) කාලය තුළ දායකත්ව මුදල් මත හිමි වන වාර්ෂික පොලි අනුපාතය අවම වශයෙන් 9%ක් විය යුතු බවට නියම කෙරෙන පරිදි 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව ද සඳහන් වේ.