සේවක අර්ථසාධක සහ සේවක භාරකාර අරමුදල යන දෙක ම එකට එකතු කර ස්වාධීන මණ්ඩලයක් යටතේ පවත්වා ගෙන යාමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ඊයේ (4) පවසා ඇත.

දෙපාර්ශවය ම තමා නිවැරදි බව පවසනවා නම් දෙපැත්ත ම එක්ව කටයුතු කළ නොහැක්කේ මන්දැයි ජනාධිපතිවරයා මෙහිදී විමසා තිබේ.

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න සේවක අර්ථසාධක අරමුදල පිළිබඳ විමසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ ප්‍රකාශ කර තිබේ.

“දෙපැත්ත ම කියනවා මම හරි කියලා. ඉතින් ඇයි දෙපැත්ත ම එකට එකතු වෙලා වැඩ කරන්න බැරි. අද රටේ තියෙන්නෙ අමාරු තත්ත්වයක්. අපි ඔක්කොම එකට එකතු වෙලා මේක ගොඩගන්න ඕන. විපක්ෂය හැටියට හෝ ආණ්ඩු පක්ෂය හැටියට හෝ අප හැම දෙනාට ම තියෙන්නේ එක ම තර්ජනයක්.

ඒකෙන් ගොඩ එන්න වෙනත් වැඩසටහන් තියෙනවා නම් කියන්න. කවුරුවත් එවැනි වැඩසටහනක් ඉදිරිපත් කරලා නැහැ. ඉතින් මේ කාලයේදී අප රටට ම පෙන්වමු. මේ ප්‍රතිපත්තිය දෙපැත්ත ම පිළිගන්න නිසා. අපි දෙපැත්ත ම එකට එකතුවෙලා වැඩ කරමු.

අප බලාපොරොත්තු වන්නේ සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල යන දෙක ම එකට එකතු කර ස්වාධීන මණ්ඩලයක් යටතේ ඒ වැඩ කටයුතු ගෙන යන්න. කැමැති නම් සජබෙ ඉන්න අයටත් ඒ වැඩේට සහභාගි වෙන්න පුළුවන්.