සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ගෝල් මාවල්ස් කණ්ඩායමේ හිමිකරු වන ඉන්දියානු ජාතික ප්‍රේම් තක්කර් නමැත්තා මේ මස 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහ‍ෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මහනුවර පල්ලේ කැලේ පැවැත්වෙන ලංකා T10 ක්‍රිකට් තරගාවලියේදී තම කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට තරග පාවාදීම සඳහා යෝජනා කළේ යැයි චෝදනා කරමින් සැකකරුව අත්අඩංගුවට ගෙන තිබූ අතර මෙම පැමිණිල්ල අද (16) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබිය.

එම අවස්ථාවේදී අදාළ විත්තිකරු මහෙස්ත්‍රාත්වරයාගේ නිල මැදිරියේදී දැනුම් දී තිබුණේ මෙම වරද සම්බන්ධයෙන් තමන් අපරාධ නඩුවිධාන සංග්‍රහයේ  127 වන වගන්තිය යටතේ රහස් ප්‍රකාශයක් ලබාදීමට එකඟ වන බවය.

ඒ අනුව අදාළ රහස් ප්‍රකාශය සටහන් කරගැනීම සඳහා අදාළ සැකකරුව ලබන 18 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළ අතර එතෙක් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද නියම කර තිබේ.

තම කණ්ඩායමට ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් ජාතික ක්‍රීඩකයෙකුට තරග පාවාදීම සඳහා යෝජනා කළේ යැයි සැකපිට මෙම ඉන්දීය ජාතිකයා ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පොලිස් විමර්ශන ඒකකය මගින් ඉකුත්දා අත්අඩංගුවට ගෙන තිබුණි.