නිසි ක්‍රමවේදයෙන් බැහැරව වංචනික අයුරින් ගෙන්වා රජයේ රෝහල්වලට බෙදා හැර තිබූ මානව ප්‍රතිදේහ, රෝගීන්ට ලබා දීම හේතුවෙන් එච්. අයි. වී., හෙපටයිටිස් – බී හා සී වැනි රෝග සමාජගත වීමේ අවදානමක් ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දී ඇත.

හොර පාරෙන් ගෙන්වා ඇතැයි සැක කරන මෙම මානව ප්‍රතිදේහ කුප්පි 8,000ක් පමණ මේ වනවිට රෝගීන්ට ලබා දී ඇති බව ත්, එය අවම වශයෙන් ප්‍රතිශක්තිය ඉතාමත් අඩුවී මරණ අවදානමේ සිටින රෝගීන් දහසකටවත් ලබා දෙන්නට ඇතැයි සැක කරන බවත් සඳහන් වේ.

පවතින තත්ත්වය යටතේ මේ එන්නත ලබාදුන් සියලු රෝගීන් පිළිබඳව පරීක්ෂා කිරීම වහා ආරම්භ කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගත යුතු යැයි ද එම සංගමය පවසා ඇත.

සෞඛ්‍ය සම්පන්න පරිත්‍යාගශීලීන් 1000 – 10000ත් අතර පිරිසකගෙන් ලබා ගන්නා රුධිර ප්ලාස්මා භාවිතයෙන් මෙම ඖ ෂධය නිපදවනු ලබන බව කී ඔහු එසේ ලබාගන්නා ප්ලාස්මා භාවිතය හරහා සිදු කරන නිෂ්පාදන ක්‍රියාවලිය දැඩි තත්ත්ව පාලන ක්‍රම යටතේ සිදු කරන්නේ එමගීන් එච්. අයි. වී. හෝ හෙපටයිටිස් බී, සී වැනි බරපතළ බෝ වන රෝග ඇති විය හැකි නිසා යැයි ද වාර්තා වේ.

1990 ආසන්න කාලයේ මෙලෙස ප්‍රතිදේහමය ඖෂධ මගින් යුරෝපයේ හෙපටයිටිස් සී රෝගය පැතිර යාමේ අවදානමක් මතු වූ බව ද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය වැඩිදුරටත් අවධාරණය කර තිබේ.