ජනාධිපතිවරයාගේ විදේශ සංචාරය සහ එහිදී සිදුකළ සාකච්ඡා හා සංවාද ඔස්සේ ගිලිහී ගොස් තිබූ ජාත්‍යන්තර සබඳතා යළි ගොඩනැගුන බවත්, ඒ ඔස්සේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික ගැටළුව විසඳීම හා යළි ගොඩනැගීමේ ක්‍රියාවලියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ලෝක බලවතුන්ගේ පූර්ණ සහාය හිමිවන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය ලබාගැනීම සඳහා සමාලෝචනය සැප්තැම්බර් මස මැද වන විට සිදු කෙරෙන බවත්, ඒ අනුව ඇති කරගත් එකඟතා ඇතුළු කරුණු සම්බන්ධයෙන් මේ වන විට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින බවත් අද (24) පැවති මාධ්‍ය හමුවකදී පවසා තිබේ.

යම් යම් බාධා පැවතියද මේ සඳහා අධිෂ්ඨානශීලීව සුදානම් වෙමින් පවතින අතර  රට වැටී ඇති ගැඹුරු ආර්ථික ආගාධයෙන් ගොඩ ඒමට යන මාර්ගය යම් යම් පිරිස් හා කණ්ඩායම් විසින් කඩාකප්පල්  කිරීමට කටයුතු කළහොත් පසුගිය වසරේ ජූලි , අගොස්තු මාස වල තිබූ තත්ත්වයට රට යළි ගමන් කිරීමට හැකි තත්ත්වයක් නිර්මාණය වන බව ද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.