ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නව කොන්දේසි මගින් ඉඩම් සහ නිවාස මත අනුමාන කරන ආදායම්වලටත් බදු ගෙවීමට යෝජනා කර ඇති බව ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිල සාමාජික සුනිල් හඳුන්නෙත්ති පවසයි.

රනිල් වික්‍රමසිංහ කැඳවා ගත් මූල්‍ය අරමුදල මේ වන විට අර්බුදය තවත් තීව්‍ර කරන ක්‍රියාමාර්ග ඒ අනුව යෝජනා කර තිබෙන බව ඔහු පෙන්වා දෙයි.

ඔහු තවදුරටත් සඳහන් කළේ, එවැනි පීඩාකාරී කොන්දේසි පිළිබඳව ජාතික ජන බලවේගය සියල්ල සමාලෝචනය කර බලා ඔවුන් සමග සාකච්ඡා කරමින් ජනතාව මත තිබෙන පීඩනය අවම කිරීමට ක්‍රියා කරන බව ය.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ ජුනි මාසයේ ඉදිරිපත් කළ වාර්තාවේ පිටු අංක 14 සහ 15 සඳහන් කරුණුවල හරය වන්නේ “ආරෝපිත කුලී බද්ද” යනුවෙන් හඳුන්වන නව බද්දයි. මේ බද්ද ආදායම් බද්දක් ලෙසට සැලකුවාට සත්‍ය වශයෙන් ආදායම් නොලබන දේපළ මත ආදායම් ලබනවා සේ සලකා බදු අය කරනවා. ලබා දී තිබෙන වාර්තාවේ 18 වන වගන්තිය අනුව, දැනට ආදායමක් නොලබන හිස් නිවාස සහ ගොඩනැගිලි මතත් බදු අය කරනවා. පසුගිය මාසය වන විට ව්‍යවසායන් දෙලක්ෂ විසි එක් දහසක් පමණ වැසී ගිය තත්ත්වයක් තිබෙන අතර ඉදිකිරීම් කර්මාන්තය අඩපණ වී තිබෙනවා. තව පැත්තකින් පළාත් පාලන ආයතන ක්‍රියාකාරීව නොතිබුණත් අයකරනු ලබන වරිපනම් බදු ඉහළ දමා තිබෙනවා.

බදු බර දරාගන්න බැරිව විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්යවරුන් මෙන් ම වෛද්‍යවරුන් ඇතුළු විශාල පිරිසක් රට අත්හැර යමින් සිටියදී මේ වගේ නව බදු අය කරන්න සූදානම් වෙනවා. අර්බුදයෙන් රට ගොඩ ගන්න කියා රනිල් වික්‍රමසිංහලා කැඳවා ගත් මූල්‍ය අරමුදලත් දැන් අර්බුදය තව තවත් තීව්‍ර කරන ක්‍රියාමාර්ග වේගවත් කර තිබෙනවා. මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න මුලපිරුවේ සේවක අර්ථසාධක අරමුදල ඇතුළු විශ්‍රාම අරමුදල්වලට ලැබෙන ප්‍රතිලාභ කපා හැරීමෙනුයි.” යනුවෙන් ඔහු මාධ්‍යය වෙත පවසා ඇත