1990 දශකයේ සිට බොලිවුඩ් සිනමාවේ තමන්ටම ආවේණික වූ රංගන කොෂල්‍යයක් විදහා දැක් වූ ආක්ෂේ කුමාර්, ප්‍රේක්ෂකයින් අතර වඩාත් ජනප්‍රිය වූයේ ක්‍රියාදාම රංගනය හේතුවෙන්. Khiladi (1991), Main Khiladi Tu Anari (1994), Sabse Bada Khiladi (1995), Khiladiyon Ka Khiladi (1996) Mr. and Mrs. Khiladi (1997), International Khiladi  (1999) වැනි ක්‍රියාදාම චිත්‍රපටවල රංගනය නිසාම “කිලාඩි කුමාර්“ යන අන්වර්ථ නාමය ආක්ෂේට පට බැඳී තිබුණා. ප්‍රේම චරිත මෙන්ම ප්‍රහසන චරිත පවා සාර්ථකව රඟපාන නළුවෙකු ලෙස ආක්ෂේ ජනප්‍රිය වී තිබෙනවා. Hera Pheri (2000) සිට Housefull චිත්‍රපට මාලාව දක්වා ඔහු විසින් රඟපෑ අමතක නොවන ප්‍රහසන චරිත බොහෝයි.

නමුත් දශකයකට ආසන්න කාලයක සිට ආක්ෂේ ප්‍රසිද්ධ වී සිටින්නේ චරිතාපදාන පාදක කරගත් චිත්‍රපටවල අතොරක් නැතිව රඟපෑම හේතුවෙන්. Airlift (2016),  Rustom (2016), PadMan (2018), Gold (2018), Mission Mangal (2019), Kesari (2019),  Prithviraj (2022) වැනි සැබෑ චරිත පාදක කරගත් චිත්‍රපටවල මෙන්ම සත්‍ය සිදුවීම් පාදක කරගත් චිත්‍රපට රැසකද ආක්ෂේ මෑත කාලීනව රංගනයේ යෙදීම නිසා  “Khiladi Kumar” ලෙස ආක්ෂේ ඇමතූ රසිකයින් දැන් දැන් “Biopic Kumar” ලෙස ඔහු හැඳින්වීමට පටන්ගෙන ඇති බව රහසක් නොවෙයි. නැවතත් ආක්ෂේ ගැන රසිකයින් අතර කතාබහට ලක්වී ඇත්තේ මේ දිනවල තිරගත වන Mission Raniganj: The Great Bharat Rescue චිත්‍රපටයේ රංගනය හේතුවෙන්.

තීනු සුරේෂ් දේසායිගේ අධ්‍යක්ෂණයක් වන Mission Raniganj: The Great Bharat Rescue චිත්‍රපටය නිර්මාණය වී ඇත්තේ 1989 දී රාණිගන්ජ් ගල් අඟුරු බිම්වල සිරවී සිටි පතල් කම්කරුවන් 65 දෙනෙකුගේ ජීවිත බේරාගත් Jaswant Singh Gill නම් පතල් ඉංජිනේරුවෙකුගේ කථාව ඇසුරින්. මෙම වීර ක්‍රියාවෙන් පසු කැප්සූල් ගිල් නමින් ප්‍රසිද්ධ වූ Jaswant Singh Gill හට නිර්භීතකම වෙනුවෙන් 1991 දී එවකට ඉන්දියාවේ ජනාධිපති රාමස්වාමි වෙන්කටරාමන් විසින් සර්වෝත්තම් ජීවන් රක්ෂා පදක්කම ද පිරිනමා තිබෙනවා.ආක්ෂේ පණ පොවන්නේ, එලෙස සිරවී සිටි මිනිසුන් සිරවී සිටි පතලට සිය ජීවිතය පරදුවට තබා බැස, සම්පූර්ණ ප්‍රමාණයේ මිනිසෙකු රැගෙන යා හැකි ලෝහ කැප්සියුලයක් ආධාරයෙන්  පතල් කම්කරුවන් සියළු දෙනා පැය 6ක මෙහෙයුමකින් පසු එකිනෙකා මුදවාගෙන අවසානයේ ඉන් පිටතට පැමිණි Jaswant Singh Gill නම් එම නිර්භීත මිනිසාගේ චරිතයට යි.

 

එවැනි විශිෂ්ඨ සත්‍ය කථාවක් පදනම් කරගෙන නිර්මාණය වූ Mission Raniganj: The Great Bharat Rescue චිත්‍රපටය ලබන විචරක හා ප්‍රේක්ෂක ඇගයීම් නම් යහපත් මට්ටමක නැති බවයි පෙනී යන්නේ. ඉන්දියානු රුපියල් කෝටි 50ක පමණ මුදලකින් සිදු කරන ලද නිෂ්පාදනයක් වන මෙය රසිකයින් අතරට නොයාමට බලපාන්නට ඇතැයි සිතිය හැකි හේතු රැසක් හඳුනාගන්නට පුළුවන්. ආපදාවකට මුහුණ දෙන පිරිසක් වටා ගෙතෙන මෙහි තිර කතාව ස්වභාවයෙන්ම අනුවේදනීය එකක්. නමුත් අධ්‍යක්ෂකවරයා එය ප්‍රේක්ෂකයාට දැනෙන්නට ඉදිරිපත් කරන්නට අපොහොසත් වී තිබීම ඉන් ප්‍රධානයි. ස්වභාවයෙන්ම හැඟීම්බර ඉන්දියානු ප්‍රේක්ෂකාගාරයේ ඇහැට ඇඟිල්ලෙන් අනින්ට සමත්වූවා නම් මෙම චිත්‍රපටය කලකට අමතක නොවන ආකාරයේ චිත්‍රපටයක් වන්නටද ඉඩ තිබුණා. එමෙන්ම චිත්‍රපටයේ කැමරාකරණය සහ සංස්කරණයද ප්‍රශස්ත මට්ටමක නොතිබූ බව පෙනෙන්ට තිබූ අතර, චිත්‍රපටයේ ගලා යාමට ඉන් බාධා එල්ල වූ බව කිව හැකියි. එමෙන්ම Mission Raniganj නරඹනවිට 1979 වසරේ අමිතාබ් බච්චන් රඟපෑ Kaala Patthar චිත්‍රපටය නිරන්තරයෙන් මතකයට එන බවත් මෙය ඒ ආකාරයටම නිර්මාණය කළ එකක් බවත්, ඇතැම් විචාරකයින් පවසා තිබුණා. චිත්‍රපටයේ විශේෂ දෘෂ්‍ය ප්‍රයෝග භාවිතයේ පැවති අඩුපාඩු ද කැපීපෙනුනා. මෙවැනි චිත්‍රපටයක් නරඹන විට එහි දර්ශනවලින් පිළීභිඹූ කෙරෙන සත්‍යතාව ඉතා වැදගත් වනවා. ප්‍රයෝග මගින් නිර්මාණය කළ දර්ශනයක් බව ප්‍රෙක්ෂකයාට පෙනෙන්නට තිබේ නම් එහි නියම ආශ්වාදය ප්‍රේක්ෂකයාට අහිමි වන්නේ නිතැතින්.

ආක්ෂේ කුමාර් මෙන්ම මෙහි ප්‍රධාන නිලිය ලෙස රංගනයේ යෙදෙන පරිනීති චොප්රාද ඉහළ මට්ටමේ රංගනයක නිරත වූවද සමස්ත චිත්‍රපටයේ පවතින අඩුපාඩු හේතුවෙන් බොක්ස් ඔෆිස්හි සාර්ථක වීමට Mission Raniganj අපොහොසත් වී තිබෙනෙ බව කිව හැකියි. තිරගත කිරීම් අරඹා මාසයක් ගතවන Jawan හැරුණු කොට වෙනත් අභියෝගාත්මක චිත්‍රපටයක් පවා නොමැති කාලසීමාවක Mission Raniganj අත්විඳිමින් සිටින්නේ දරුණු පරාජයක් බයි පෙනෙන්ට ඇත්තේ. සමකාලීන ජ්‍යෙෂ්ඨ නළුවන් වසරකට තෝරා බේරාගත් චිත්‍රපට දෙකක හෝ තුනක රංගනයේ යෙදුනත්. ආක්ෂේ කුමාර් කියන්නේ සීමාවක් නැතිව ලැබෙන සෑම චරිතයක්ම රඟපාන “කෑදර” නළුවෙකු ලෙසයි ප්‍රසිද්ධියට පත්වී තිබෙන්නේ. ඉවක් බවක් නැතිව දකුණු ඉන්දියානු චිත්‍රපටවල නැවත නිර්මාණ (Re make) රැසකද රංගනයේ යෙදුනු ආක්ෂේ කුමාර්, Soorarai Pottru (2020) කොලිවුඩ් චිත්‍රපටයේ නැවත නිර්මාණයද ඇතුළුව ඔහු රඟපෑ තවත් චිත්‍රපට 7ක් ඉදිරියේදී තිරගත කිරීමට නියමිත ව තිබීමෙන්ම එය පැහැදිලි වනවා. ගත වූ වසර 2ක පුරාවටම ආක්ෂේ රඟපෑ චිත්‍රපට අතුරින් OMG 2 හැරෙන්නට අන් කිසිඳු චිත්‍රපටයකට කැපී පෙනෙන සාර්ථකත්වයක් ලබා ගැනීමට නොහැකි වී ඇති පසුබිමක Re make Kumar වී පසුව Biopic Kumar  වූ Khiladi Kumar, නුදුරේදීම Flop Kumar ලේබය අලවා ගනීදෝයි පැහැදිලි සැකයක් මතු වනවා. කෙසේ නමුත් ලබන වසරේ තිරගත වීමට නියමිතව ඇති ආක්ෂේගේ චිත්‍රපට ලැයිස්තුව දෙස බලන විට Bade Miyan Chote Miyan සහ Hera Pheri 3 යන චිත්‍රපට තුළින් නැවතත් සුපුරුදු ආක්ෂේ දැක බලා ගැනීමට හැකි වනු ඇති බවට රසිකයින් බලාපොරොත්තු තබා  ගත්තාට වරදක් නැහැ.

උමේෂ් ද සිල්වා