ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ඊයේ (18දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කළේය. තරගාවලියේ සමාරම්භක තරගය පසුගිය වර ශූරයන් වූ ජැෆ්නා කිංග්ස් සහ අනුශූරයන් වූ කළම්බු ස්ට්‍රයිකර්ස් අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

තරගාවලියේ මූලික වටයේ තරග අගෝස්තු මස 15වැනිදා අවසන් වේ. අවසන් වටයේ තරග අගෝස්තු 17වැනිදා ආරම්භ වන අතර, ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන කණ්ඩායම් දෙක එදින පස්වරු 03.00ට Qualifier 1 තරගය සඳහා ක්‍රීඩා කිරීමට නියමිතය. අවසන් වටයේ දෙවැනි තරගය හෙවත් Eliminator තරගය එදින රාත්‍රී 7.30ට ආරම්භ වන අතර, ඒ සඳහා ප්‍රසාද ලකුණු සටහනේ ‌තෙවැනි සහ සිව්වැනි ස්ථානවල කණ්ඩායම් තරග වදී. Qualifier 2 තරගය අගෝස්තු 19වැනිදා පැවැත්වේ.

අවසන් මහා තරගය අගෝස්තු 20වැනිදා කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර, අගෝස්තු 21වැනිදා අතිරේක දිනයක් ලෙස ප්‍රකාශ කර ඇත.

මූලික වටයේ තරග 20න් තරග 12ක් කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීත්, තරග 08ක් මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදීත් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, තරගාවලිය ජූලි 30වැනිදා සිට අගෝස්තු මස 20වැනිදා දක්වා පැවැත්වේ.

කවිඳු කාරියවසම්